(විමුක්ති එස්. රුද්‍රිගු)

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවල විදුලි බිලේ බර අඩු කිරීම සඳහා මෙගාවොට් 25ක වහල මත සූර්ය බල පද්ධති ස්ථාපිත කරන නව ව්‍යාපෘතියකට අදාළ ණය සහ ප්‍රදාන ගිවිසුම්වලට ශ්‍රී ලංකා රජය සහ ආසියානු සංවර්ධන බැංකුව පසුගිය 1 වැනිදා අත්සන් තැබූ බව මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

මෙම ව්‍යාපෘතිය සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 35ක සහනදායී ණයක්ද, යුරෝපා සංගමයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 16.94ක ප්‍රදානයක්ද ලැබේ. ජපාන අරමුදලකින් තවත් ඇමෙරිකානු ඩොලර් මිලියන 5.5ක ප්‍රදානයක් ලැබෙන අතර, ඒ අනුව සමස්ත ණය සහ ප්‍රදාන මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 57.44කි.

බලශක්ති අමාත්‍යාංශය, ලංකා විදුලිබල බෙදාහැරීමේ පුද්ගලික සමාගම සහ ලංකා විදුලි පුද්ගලික සමාගම එක්ව 2026 සිට 2030 දක්වා මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිතය. අඩු වියදමකින් පිරිසිදු බලශක්තිය ලබාගැනීමේ අවස්ථා පුළුල් කිරීම එහි අරමුණ වේ.

ව්‍යාපෘතිය යටතේ “Virtual Net Metering” නමැති ක්‍රමය පළමු වරට ශ්‍රී ලංකාවට හඳුන්වාදීමට නියමිතය. සූර්ය බල පද්ධති මගින් නිපදවන විදුලියේ ප්‍රතිලාභ අදාළ ව්‍යාපාරවල විදුලි බිල් අඩු කිරීමට යොදාගැනීම මෙම ක්‍රමයේ අරමුණයි.

ඒ සඳහා යුරෝපා සංගමයේ ප්‍රදානයෙන් මෙගාවොට් 25ක සමස්ත ධාරිතාවක් සහිත වහල මත සූර්ය බල පද්ධති ස්ථාපිත කෙරේ. විදුලි ජාලයේ තත්ත්වයට ගැළපෙන පරිදි ඒවායේ විදුලි නිෂ්පාදනය පාලනය කළ හැකි නව තාක්ෂණයද එම පද්ධතිවලට එක්කිරීමට නියමිතය.