
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හඳුනාගත් සමස්ත පුරාවිද්‍යා ස්ථාන වලින් සියයට 48ක් ගැසට් නොකිරීම පිළිබඳ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (කෝපා) එහි නිලධාරීන්ට අප්‍රසාදය පළ කර ඇත.
මේ අනුව ගැසට් මගින් ප්‍රකාශයට පත්කරන ලද සහ නොකරන ලද සියලු දත්ත පිළිබඳ වාර්තාවක් මාසයක් ඇතුළත ලබාදෙන ලෙස කාරක සභාව නිර්දේශ කළේය.
පුරාවස්තු සහ පුරාවිද්‍යා කැණීම් කටයුතු පිළිබඳ සියලු තොරතුරු ඇතුළත් මධ්‍යගත දත්ත පද්ධතියක් පවත්වාගෙන යෑමේ අවශ්‍යතාව පිළිබඳවද රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ අවධානය යොමු විය.
මේ කරුණු සාකච්ඡා වුයේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ 2021, 2022 හා 2023 යන වර්ෂයන්වල විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්ය සාධනය පිළිබඳ පරික්ෂා කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතාගේ සභාපතිත්වයෙන් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව ඉකුත් 6 වැනිදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.
තවද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය යාවත්කාලීන නොවීම සම්බන්ධයෙන්ද කාරක සභාවේ අවධානය යොමු විය.
කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරුන් පෙන්වා දුන්නේ සංචාරක ආකර්ෂණය දිනාගැනීමේදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය යාවත්කාලීන කිරීම ඉතාම වැදගත් බවයි.
මේ සම්බන්ධයෙන් අවධානය යොමු කර ඉක්මනින් වෙබ් අඩවිය යාවත්කාලීන කිරීමට ක්‍රමවේදයක් සකස් කරන ලෙස කාරක සභාව උපදෙස් දුන්නේය
මෙහිදී කාරක සභා සභාපති පෙන්වා දුන්නේ කාරක සභාව 2023 ඔක්තෝම්බර් 03 දින රැස් වූ අවස්ථාවේදී, රටේ සියලු පුරාවිද්‍යා කැණීම් සිදු කරන ලද ස්ථාන, එම කැණීම් මගින් සිදු කරන ලද සොයාගැනීම් සහ ඒවායේ සාර්ථක අසාර්ථක බව, එම කැණීම් තවදුරටත් ඉදිරියට කරගෙන යා යුතුද, නැද්ද යන්න, කැණීම් කළ යුතු වෙනත් ස්ථාන මොනවාද යනාදී තොරතුරු දත්ත පද්ධතියකට ඇතුළත් කර පවත්වාගෙන යන ලෙස නිර්දේශ කර ඇති බවයි. කාරක සභාවේ සභාපතිවරයා මේ සම්බන්ධයෙන් වර්තමාන ප්‍රගතිය විමසීමේදී පැමිණි නිලධාරීන් පෙන්වා දුන්නේ මේ වනවිටත් සියලු තොරතුරු ඇතුළත් දත්ත පද්ධතියක් නොමැති බවයි. කැණීම් බලපත්‍රවලට පමණක් අදාළව දත්ත පද්ධතිය පවත්වාගෙන යන බවද ඔවුහු වැඩිදුරටත් කීහ .
මෙම රැස්වීමට නියෝජ්‍ය අමාත්‍යවරුන් වන සුගත් තිලකරත්න, අරවින්ද සෙනරත් සහ නලීන් හේවගේ සාමාජික මන්ත්‍රීවරැන් වන එම්. එල්. එ්. එම්. හිස්බුල්ලා, (වෛද්‍ය) ජනක සේනාරත්න, ටී. කේ. ජයසුන්දර, චන්දන සූරියආරච්චි, (නීතීඥ) සාගරිකා අතාවුද, (නීතීඥ) තුෂාරි ජයසිංහ, ඔෂානි උමංගා, ලාල් ප්‍රේමනාත්, මංජුල සුරවීර ආරච්චි, රුවන්තිලක ජයකොඩි සහ සුනිල් රත්නසිරි යන මහත්ම මහත්මීහුද සහභාගී වූහ.
COMMENTS