(අංජුල මහික වීරරත්න)

ස්වාධීන අපේක්ෂකයකු ලෙස තමා මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ පක්ෂග්‍රාහිත්වයෙන් තොරව අලුත් දැක්මක් සහ අලුත් වැඩපිළිවෙළක් ඔස්සේ රට ඉදිරියට ගෙන යාමට බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

පළාත් ආණ්ඩු 9ක් සහ මධ්‍යම ආණ්ඩුව ඇතුළු ආණ්ඩු 10 ඔස්සේ සියලු දෙනාට වගකීම් පවරමින් එම කටයුතු ඉදිරියට ගෙන යන බවද ජනාධිපතිවරයා කීය. 

ජනාධිපතිවරයා මේ බව කීවෙි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පළාත් සභාවල හිටපු  මහජන නියෝජිතයන් සමඟ බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලයේ පැවති හමුවේදීය.

ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය විජයග්‍රහණයක් කිරීමට එක්විය යුතු බවට වන යෝජනාව මෙහිදී බස්නාහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ඉසුරු දේවප්‍රිය මහතා විසින් ඉදිරිපත් කළ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මිහින්තලේ ප්‍රධාන සංවිධායක ටී. එම්. ආර්. සිරිපාල මහතා ඇතුළු පළාත් සභාවල හිටපු  මහජන නියෝජිතයන්  116 දෙනෙක් දෑත් ඔසවා එය ස්ථීර කළහ.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ රටේ නැඟී එන ආර්ථිකය ආරක්ෂා කර ගනිමින් ඉදිරියට යා යුතු බවයි. එහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කරගෙන තිබෙන ගිවිසුම කඩ කළ නොහැකි බවත් මැතිවරණ පැවැත්වුණද එම වැඩකටයුතු වෙනුවෙන් කැපවීම සියලුදෙනාගේ වගකීම බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

හමාස් සංවිධානයේ දේශපාලන නායක ඉස්මයිල් හනියේ ඝාතනය තමා කිසිවිටෙකත් අනුමත නොකරන බවත්, එය තරයේ හෙළාදකින බවත් පැවසු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඒ හේතුවෙන් ඉරානය, මැද පෙරදිග සහ ලෝකයේ ඇතිවිය හැකි තත්ත්වයන්ගෙන් මෙරට ආර්ථිකයට විය හැකි බලපෑම් වලක්වා ගැනීමට ගත යුතු පියවර දැන් සිටම ගැනීමට රජය කටයුතු කරන බවද පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය.

මා වෙනුවෙන් කථා කළ සහ මට සහයෝගය ලබාදීමට මෙම ස්ථානයට පැමිණි ඔබ සියලුදෙනාට මාගේ ස්තූතිය පිරිනමනවා. අපි සියලු දෙනා එකට එකතු වුණේ 2022 ජූලි මාසයේදීයි. අපි සියලුදෙනාගේ නිවාස එදා අහිමි වුණා. රටට අනාගතයක් නැහැ කියලා එදා ජනතාව සිතුවා. රට ඉදිරියට ගෙන යාමට නොහැකි වනු ඇතැයි බොහෝ දෙනා සිතුවා. මේ ආණ්ඩුව බාරගත්තේ ඇයි කියලා ඇතැම් අය මගෙන් ඇහුවා. මම කිව්වා මේ රට ගොඩගන්න පුළුවන් කියලා මට විශ්වාසයක් තිබෙනවා කියලා. පොහොට්ටුවේ අයට මොකක්ද ඒ ගැන තිබෙන පළපුරුද්ද කියලා ඇතැම් අය ප්‍රශ්න කළා. ඉන්න පිරිස සමඟ වැඩ කරනවා මිස අලුතෙන් පිරිස මවන්න නොහැකි බැවින් අපි මේ ගමන ඉදිරියට යමු කියා මම කිව්වා. දැන් ඒ අය කියනවා ඔයාට හොඳ කණ්ඩායමක් ඉන්නවා කියලා. 

ඇමතිවරුන්, මන්ත්‍රීවරුන්, පළාත් සභා හා ප්‍රාදේශීය සභා නියෝජිතයින් අප සියලුදෙනා එකතුවෙලා පළමුව මේ රට තුළ ස්ථාවරභාවයක් ඇති කළා. එදා මේ රටේ විශාල බියක් ඇති වී තිබුණා. මන්ත්‍රීවරු මහ මග ඝාතනය කරනවා නම් රටේ තත්ත්වය මොකක්ද, අපි පසු කළේ එවන් තත්ත්වයක්. අපි දැන් රට නැවත සාමාන්‍ය තත්ත්වයට ගෙනවිත් බංකොලොත් භාවයෙන් ද නිදහස් කර ගැනීමට පියවර ගෙන තිබෙනවා. අපට මෙතැනින් මෙම කටයුතු අවසන් කරන්න බැහැ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම අනුව අප කටයුතු කළයුතුයි. එය කඩ කළොත් අපි නැවත අගාධයකට වැටෙනවා. 

ඔවුන් අපට මුදල් ලබා දෙන්නේ කොන්දේසි මතයි. අපි ඊට එකඟතාවය පළ කර තිබෙනවා. ඒ අනුව ඉදිරියට යා යුතුයි. අපට දැන් මුදල් තිබෙන්නේ දෙසැම්බර් මාසය වන තෙක් පමණයි. ජනවාරි මාසයේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ අනිත් ගිවිසුම අත්සන් තැබිය යුතුයි. එවිට අපට ජනවාරි පෙබරවාරි වන විට මුදල් ලැබෙනවා. 

නමුත් අපි මේවා අලුතින් සාකච්ඡා කරන්න ගියොත් කොච්චර කාලයක් ගත වෙනවද? එවිට මෙය අවසන් කිරීමට වසරක් පමණ ගත වෙනවා. අපිට මුදල් නැතිව ඉදිරියට යන්න බැහැ. ඒ නිසා මෙම වැඩපිළිවෙළ අඛණ්ඩව ඉදිරියට ගෙන යමින් මුදල් ලබාගෙන ඉදිරියට යනවද, නැද්ද, කියා අප තීරණය කළ යුතුයි. 

ඒ වගේම අපි මේ තරුණ තරුණියන්ගේ ප්‍රශ්න විසදිය යුතුයි. ඔවුන්ට රැකියා ලබා දිය යුතුයි. ඒ වගේම දුප්පත්කම නැති කළ යුතුයි, රට දියුණු කළ යුතුයි. එම කටයුතු වෙනුවෙන් මම ආණ්ඩු 10ක් හදනවා. පළාත් ආණ්ඩු 09ක් සහ මධ්‍යම ආණ්ඩුව යටතේ එම කටයුතු ඉදිරියට ගෙන යනවා. එහිදී සියලුදෙනාට වගකීම් පැවරෙනවා. 

ජනාධිපතිවරණයට මම ස්වාධීනව ඉදිරිපත් වුණේ මේ රට අලුතින් සිතා අලුත් වැඩපිළිවෙළක් ඔස්සේ ඉදිරියට ගෙන යා යුතු නිසයි. පක්ෂග්‍රාහී නොවී අලුත් විය යුතු නිසයි. අපි ඒ ගමන යමු. ඒ නිසා අපි සියලුදෙනා එක්වී ඉදිරියට යමු. 

2022 වසරේ මට සහාය ලබාදීමට පොහොට්ටුවේ බහුතරයක් තීරණය කළා. ඔවුන් එය සිදු නොකළා නම් අද රටේ මේ තත්ත්වය නැහැ. ඒ නිසා විශේෂයෙන් එම තීරණය ගත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට මම ස්තූති කරනවා. එය රට බේරගත් තීන්දුවක්. අපි දැන් ඉදිරියට යමු. පක්ෂ කැඩීමට අවශ්‍ය නැහැ. අපි ඒවා හැකිතරම් ආරක්ෂා කරගෙන ඉදිරියට යන්න ඕන. 

අද ලෝකයේ ප්‍රශ්න තිබෙනවා. අද අළුයම ටෙහෙරාන් නගරයේදී හමාස් සංවිධානයේ නායකයාව ඝාතනය කළා. එම ක්‍රියාව මම හෙළා දකිනවා. එය වැරදියි. ගාසා යුද්ධයේ විසඳුමකට පැමිණිය යුතුව තිබුණා. එවන් අවස්ථාවක මෙම ක්‍රියාව නිසා නැවත මැද පෙරදිග රටවල ප්‍රශ්න උග්‍ර වෙනවා. ඒ නිසා ඊට මම එකඟ වෙන්නේ නැහැ. රටක් සහ රාජ්‍යයක් ලෙස ජීවත්වීමේ අයිතිය සෑම විටම අපි ආරක්ෂා කළ යුතුයි. 

පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව පළාත් සභා මැතිවරණය පවත්වනවා. 1988 ක්‍රමයට එම මැතිවරණය පැවැත්වීමට මම බලාපොරොත්තු වෙනවා. මම එම්.ඒ. සුමන්තිරන් මන්ත්‍රීවරයා සමග මේ පිළිබඳ කථා කළා. ඔහුත් ඊට එකඟයි. එම මැතිවරණයේ දී කාන්තා සහ තරුණ නියෝජනය වැඩි කළ යුතුයි. ඒ වගේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ට එම මන්ත්‍රී ධූරය තබාගෙන මීට තරග කර පළාත් සභාවටද ඒමට හැකි වෙනවා.  අපි සියලුදෙනා ආණ්ඩුවක් විදියට කටයුතු කළයුතුයි. 

ජනාධිපති, අගමැති ඇතුළු මේ  9 දෙනා සමග ආණ්ඩුව යටතේ ප්‍රධාන මූල්‍ය ඇමතිවරුන්ගේ කමිටුවක් තිබෙනවා. ඒ වගේම රාජ්‍ය සභාවක් අපි යෝජනා කරනවා. ජනාධිපති, අගමැති, පක්ෂ නායකයන් සහ මහඇමතිවරුන් ඊට ඇතුළත් වෙනවා. 2017 වසරේ පළාත් 7ක මහ ඇමතිවරු ව්‍යවස්ථා සංශෝධන කමිටුවට ලබා දුන් වාර්තාවේ යෝජනා අනුව වැඩකටයුතු කරනවා. ද්‍රවිඩ පක්ෂ ඊට එකඟත්වය පළ කර තිබෙනවා. එහිදී අපි දැනුම් දීලා තිබෙනවා පොලිස් බලතල ගැන පසුව කථා කළ හැකියි, අනෙක් කටයුතු වෙනුවෙන් දැන් අපි ක්‍රියාත්මක වෙමු කියලා. අපිට විශාල වැඩකොටසක් තිබෙනවා කෘෂි නවීකරණය වගේම, පාසල් අධ්‍යාපනය, සංචාරක ව්‍යාපාරයේ වගකීම් පළාත් සභාවලට දිය යුතුයි. මේ ආණ්ඩු 10න් මේ රට ඉදිරියට ගෙන යාමට අපි බලාපොරොත්තු වෙනවා. ඒකට අප සූදානම් වෙමු.

නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා,රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ සහ ජානක වක්කුඹුර,පාර්ලිමේන්තු මන්ත්‍රී  වජිර අබේවර්ධන මහත්වරු ද අදහස් දැක්වූහ.

රාජ්‍ය අමාත්‍ය ඩී. බී. හේරත්, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ, අනුර ප්‍රියදර්ශන යාපා, මධුර විතානගේ, බස්නාහිර පළාත් හිටපු මහ ඇමති ඉසුරු දේවප්‍රිය, උතුර මැද හිටපු මහ ඇමැති එස්. එම්. රංජිත්, නැගෙනහිර පළාත් හිටපු අමාත්‍ය ආරියවතී ගලප්පත්ති, එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර යන මහත්ම මහත්මීන් සහ හිටපු ප්‍රධාන අමාත්‍යවරුන්, හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන්, හිටපු මැති ඇමැතිවරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට  එක්ව සිටියහ.