පසුගිය මහා මැතිවරණය නොපවත්වන ලෙස හිටපු ජනාධිපතික මහින්ද රාජපක්ෂ මහතාට තමා ලිඛිතව දුන් උපදෙස් නොතකා ඔහු පරාජයට පත් වෙද්දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය සතු කර ගැනීමට තමා ගත් සාර්ථක උත්සාහය වරදක් දැයි මෛත්‍රීපාල සිරිසේන ජනපති ශ්‍රීලනිපයේ 65 වැනි සමැරුම අමතමින් ඇතුගල්පුරයේ දී පැවසීය.
ගිලිහී ගිය බලය ශ්‍රීලනිපයට යළි හිමි කර ගැනීමට එජාපය සමග සම්මුතිවාදී රජයක් බිහි කළ බවත් අනාගත ශ්‍රීලනිප රජයට පළමු වෙඩි මුරය කුරුණෑගලින් අද තැබූ බවත් ජනපති කීවේය.
පැල්පතෙන් කුඹුරෙන් ගොයම් කොළෙන් ආ තමාට අද පහර දෙන්නේ තමා ගොවි පුතකු නිසාදැයි ඔහු ප්‍රශ්න කළේය.
ජනපති මෙසේද කීවේය.
‘ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 65 වැනි සංවත්සර උළෙල අද. අද දවස පිළිබඳව මම හිතනවා මේ රටේ කිසියම් කෙනෙක් බලාපොරොත්තු නොවූ ආකාරයට ඇත්තම කියනවානම් මමත් හිතුවේ නෑ මේ තරම් අති විශාල ජනකායක් ඇතුගල්පුරයට පැමිණෙයි කියලා. මේ ක්‍රීඩාංගණයේ සිටින ජනතාවටත් වැඩි ජනතාවක් ඇතුළට එන්න බැරිව කුරුණෑගල නගරයේ සිටින බව පොලිසිය කියනවා. මේ ශක්තිය කාගෙද. මේ බලය කාගෙද මේ ජවය කාගෙද මේ ශක්තිය බලය ජවය ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ. මෙයට අභියෝග කරන්නට මේ රටේ කිසිදු දේශපාලන බලවේගයකට හෝ ප්‍රතිවාදී බලවේගයකට නොහැකියි. ශ්‍රීලනිපයට කීර්තිමත් ඉතිහාසයක් තිබෙනවා. ඒ කීර්තිමත් ඉතිහාසයේ ශ්‍රේෂ්ඨ කතාවක් තිබෙනවා. එහි රසමුසු තැන් මෙන්ම සැලකිය යුතු තැන් මෙන්ම දුක් මුසු තැන් මෙන්ම අභියෝගාත්මක කතා රාශියක් තිබෙනවා. එස්.ඩබ්.ආර්.ඩී.බණ්ඩාරනායක මැතිතුමා ඇයි මේ පක්ෂය හැදුවේ. එතුමා එජාපෙ ඉඳලා කඩාගෙන ඇවිත් මේක හදලා කියලා සමහරු කියනවා. මම එතරම් ඒකට එකඟ වෙන්නේ නෑ. සිංහල මහා සභාවේ තිබුණු කොටසක් අරගෙන එදා ඒ යුගයට අවශ්‍ය සටන් පාඨ අතට ගත් පිරිසක් හිටියා මේ රටේ. ඒ කවුද බ්‍රිතාන්‍ය පාලනයට යටත් වෙලා හිටපු අපි 1505 ඉඳලා 1948 වෙනකන් විදේශ පාලනයට යටත් වෙලා හිටපු අපි නිදහසින් පසු මේ රටේ ජනතාව අදහස් කළා රටේ ස්වාධීනත්වය අපේම රටක් අපේ සංස්කෘතියක් අපේ ශිෂ්ටාචාරය ගොඩනැගුණු ආණ්ඩුවක රටක අපේක්ෂාව. නිදහස් අරගල ජයගත්තේ ඒ යුගෙයේ හිටි සිංහල දමිළ මුස්ලිම් සියලු නායකයන් කියන එක අමතක කරන්න එපා. 1951 සැප්තැම්බර් 2 වැනිදා ශ්‍රීලනිපය බිහි කරන විට බණ්ඩාරනායක මැතිතුමා එදා මැතිවරණ නීති අනුව පක්ෂයට ප්‍රධාන ලේකම්වරයකුගේ අවශ්‍යතාවය තිබුණේ නෑ. සම ලේකම්වරු පස් දෙනෙක් පත් කළා. ශ්‍රීලනිපයට ආණ්ඩුවක් හදන්න ඒ යුගය තුළ ගොඩනැගුණු සංසිද්ධි ගණනාවක් තිබුණා. ගමේ පන්සලේ හාමුදුරුවෝ කුඹුරේ ගොවි මහතා, ෆැක්ටරියේ කම්කරුවා, ගමේ වෙද මහතා, ගමේ ඉස්කෝලේ මහතා අපේම කියන ලේඛකයින් උගතුන් බුද්ධිමතුන් සියල්ල සමග දේශපාලන බලවේගයකට වැඩිය බණ්ඩාරනායක මහතා ආණ්ඩුවක් හදන්න එක්වුණේ සංස්කෘතික බලවේගයි. පළවැනි මැතිවරණයේ ආසන 9යි. 56 ආණ්ඩුවක් හැදුවා මහජන එක්සත් පෙරමුණ සමග. ලංකාවේ දේශපාලන නායකයෙක් පක්ෂයක් හදලා අඩුම කාලයකින් ආණ්ඩුවක් හැදුවේ එදා. ඒකට අපේ ආණ්ඩුව කිව්වා. මැති ඇමැතිවරු ඉඳගන්න පුටු අතගාලා මේ අපේ මන්ත්‍රීවරු කිව්වා. ශ්‍රීලනිපය ස්වදේශිකත්වය මුල්කරගත්ත, අපේ සංස්කෘතිය ශ්‍රීලාංකිකත්වය මුල් කරගත්ත අපේම අපේ දේශපාලන පක්ෂයක්. ඒ 56 ආණ්ඩුව රටට අවශ්‍ය වෙනස්කම් රාශියක් කළා. මේ රටේ බලයට පත්වූ නායකයින්ගෙන් මම කියනවා බණ්ඩාරනායක මහතා තරම් බලයේ සිටි කාලයේ මානසික පීඩනයට පත්වූ කෙනෙක් නෑ. ඒ අර්බුද කොතෙක් ආවත් පිටකොන්දක් ඇති දේශප්‍රේමි නායකයෙක් විදියට ජාතික ජාත්‍යන්තර ප්‍රශ්නවලට මුහුණදීලා රටට අවශ්‍ය දේ ඉටු කළා. මේ රටේ දේශපාලන නායකයෝ ඉන්නවා දීර්ඝ කාලයක් බලයේ සිටි. බණ්ඩාරනායක මහතා හිටියේ අවුරුදු තුනයි. නමුත් ගමේ හැමදෙනාගේම හදවතේ අදත් ශ්‍රීලනිපය නලියන්නේ හඬ නගන්නේ එතුමා කළ වෙනස්කම නිසා. මේ පක්ෂය පවිත්‍ර නිර්මල රට කරවිය යුතු පක්ෂයක්. ඒ නිසා තමයි මේ රටේ නිදහසින් පසු වැඩිම කාලයක් රාජ්‍ය පාලනයේ යෙදී සිටින්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයයි.
සමාජ ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ කුමක්ද විශේෂයෙන්ම පොදු ජනතා සුබ සාධනය. පොදු ජන මෙහෙවර පුංචි මිනිසුන් වෙනුවෙන් පෙනී සිටීම. නිදහස තහවුරු කිරීම. සැබෑ ලෙස පුංචි මිනිසාගේ අයිතිය වෙනුවෙන් පෙනී සිටිමින් ආර්ථික වෙනස්කම් වෙනුවෙන් පෙනී සිටීම. මේ පක්ෂය අපි ශක්තිමත් කිරීම අදට ගැලපෙන ආකාරයට සකස් කිරීම අවශ්‍යයි. සිරිමාවෝ මැතිනිය පක්ෂයට නායකත්වය දීලා ඒ යුගයේ අවශ්‍ය වෙනස්කම් කළා. පක්ෂයේ පළමු නායකයා අමු අමුවේ වෙඩි තියලා මරලා දැම්මා. දෙවැනි නායිකාව ප්‍රජා අයිතිය අහෝසි කරලා දේශපාලනයෙන් අයින් කරන්න උත්සාහ කළා. තුන්වැනි නායිකාව යුද්ධයේ ගොදුරක් වෙලා ආබාධිත වුණා. මහින්ද රාජපක්ෂ පක්ෂයේ ඊළඟ නායකයා යුද ජයග්‍රහණය කළා. පක්ෂය ඊට පස්සේ මට බාරගන්න කිව්වා. මම ආණ්ඩුවෙන් එළියට ගිහින් පොදු අපේක්ෂකයා ලෙස එදා අත්සන් කළෙත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලෙසයි. මාත් එක්ක ගිවිසුමක් අත්සන් කළේ නෑ මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් විය යුතුයි කියලා. ඒ ගැන කිසිදු බාධාවක් ඇතිවුණේ නෑ. 2015 ජනවාරි 8 වැනිදා මැතිවරණයෙන් දිනලා 9 වැනිදා දිවුරුම් දීලා දවස් තුනකට පස්සේ පක්ෂයේ සභාපතිකම භාරගන්න කියලා මට ආරාධනය කළාම මම පුදුම වුණා. නමුත් මහත් අභිමානයෙන් සතුටින් මම සභාපතිකම භාරගත්තේ නැවත මේ රටේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් හදන්න.
අපි පොදුවේ රටට දුන්නා පොදු ප්‍රකාශයක්. රට බරපතල ප්‍රශ්න රාශියකට මුහුණදී තිබුණා. ඒ මැතිවරණ ප්‍රකාශනයට තමයි මට ජයග්‍රහණය ලැබුණේ. ගිය අගෝස්තු මැතිවරණයෙන් ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකෙන් එකකටවත් ආණ්ඩුවක් හැදීමේ අයිතිය දුන්නේ නෑ. ඒ අනුව මැතිවරණ ප්‍රකාශනයේ තිබුණත් නැතත් රටේ ආණ්ඩුවක් තිබිය යුතුයි. ජනතාවට මා වගකිව යුතුයි. අද අපි ආණ්ඩු කරනවා විවේචන තිබෙනවා. එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කීමූන් මේ සතියේ එන්න කලින් ආවේ 2009. අපි නිසා ලෝකය බෙදුණා . අපි නිසා එජා සංවිධානය දෙකට බෙදුණා. එජා සංවිධානය හා මානව හිමිකම් කොමිසන් සභාවේ පවත්වපු ඡන්ද ගණනාවකින් අපි පරාජයට පත්වුණා. ඒ එක්කම ජාත්‍යන්තරයෙන් අපිට යෝජනා චෝදනා මාලාවක් ආවා. අපි රටක් රාජ්‍යයක් විදියට පෙනී සිටිය යුතු වෙනවා. එය රට වෙනුවෙන් හා රටේ ජනතාව වෙනුවෙන් මෙන්ම මේ රටේ යුද්ධය කළ යුද නාවික ගුවන් ත්‍රිවිද හමුදාවේ පොලිසියේ රණවිරුවන් වෙනුවෙන් පෙනී සිටිය යුතු වුණා. එහෙත් ගිය ජනපතිවරණ ප්‍රතිඵල සමග ඒ එන යෝජනා රටට අවශ්‍ය නිදහස මානව අයිතිවාසිකම් රටේ ජනතාවට බියක් සැකක් නැතිව සතුටින් ඉන්න පුළුවන් රටක් හදන්න වුවමනා වුණා. 30, 40, 50, 60 දශකවල සිට කෑගහපු වරින් වර නැගුණු කලකෝලාහල අරගල බවට පත්වුණා. සිංහල දමිළ යුද්ධයකට මුහුණ දුන්නා. මේ ප්‍රශ්නවලින් රට බේරාගැනීම අවශ්‍ය වුණා. 2014 ජනාධිපතිවරණයක් හරහා සූදානම් වන විට මා මහින්ද රාජපක්ෂ මහතාට මගේ අතින් හදලා ලියලා දුන්නා ආණ්ඩුව වෙනස්වෙන මැතිවරණයකට යන්න එපා. මට ඒ ආණ්ඩුව පරාජය කරන්න අවශ්‍ය ඒ ලියුමක් ලිවිය යුතුද කියා මට සිතුණා. මහින්ද රාජපක්ෂ මහතාට ඒ ලිපිය මම ලියලා පක්ෂයේ ප්‍රධානීන්ට දුන්නා. අපේ හඬ ඇහුවේ නෑ. මැතිවරණයකට ගියා. එහෙමනම් ඒ පවත්වපු මැතිවරණයේ ජයග්‍රහණය ශ්‍රීලනිප ලේකම්වරයා අතට ගත්ත එක වැරදිද කියලා මම අහනවා. මේ රටේ ආණ්ඩු වෙනස් වුණාම ඇතිවන පශ්චාත් මැතිවරණ තත්ත්වයන් ඔබ දන්නවා. ලෝකයේ දියුණු රටවල්වල ඒ දේශපාලන සංස්කෘතියේ වැදගත් කොටස් අපි ගත යුතුයි. ස්වදේශීකත්වය පදනම් කරගෙන ඒ සියල්ල එක්ක අපේ මූලික ප්‍රතිපත්ති දර්ශනය අබ පියල්ලකින්වත් නොවෙනස් විය යුතුයි. විශේෂයෙන්ම වෙළඳපළ තරගකාරිත්වය තුළ විසිවෙන්නේ පුංචි මිනිසා දුප්පත් මිනිසා කියන එක අමතක කරන්න බෑ. වැඩපළේ කම්කරුවා කුඹුරේ ගොවියා පීඩිතයා දුප්පතා ඒ සියල්ලන් වෙනුවෙන් පෙනී සිටිය යුතු දේශපාලන බලවේගයක් තිබිය යුතුයි. මානව අයිතිවාසිකම් මූලික අයිතින් තිබිය යුත්තේ ධනපති පංතියට විතරක් නෙමෙයි දුගී දුප්පත් සියලු දෙනාට එක හා සමාන අයිතියක් තිබිය යුතුයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නව ජවයකින් නව වැඩපිළිවෙළකින් අලුත් ගමනක අවශ්‍යතාවය ඇතිවෙලා තිබෙනවා. මේ පැමිණි අති විශාල මහ ජන ගංඟාවට පක්ෂයේ සියලු නායකයින්ට අනාගතයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් වෙනුවෙන් පළවැනි වෙඩි මුරය තමයි අද තිබ්බේ කියන එක මා කියනවා. ලබන අවුරුද්දේ මුල් මාසේ පළාත් පාලන මැතිවරණය එනවා. දිවයිනේ සියලු පළාත් පාලන දිස්ත්‍රික්කවලට අත ලකුණින් අපි තරග කරනවා. අපිත් එක්ක එකතු වෙලා ඉන්න එකතු වෙන ඒ සියල්ලට ආරාධනය කරනවා ඒ මැතිවරණය ජයග්‍රහණය කරන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොඩිය යට එකතු වෙන්න කියලා. ශ්‍රීලනිපයෙන් පාර්ලිමේන්තු ගිහින් විරුද්ධ පක්ෂයේ ඉන්න ඕන කියපු අයට මම කියනවා අනාගතයේ ශ්‍රීලනිප ආණ්ඩුවක් හදන්න පක්ෂය එක්ක එකතු වෙන්න කියලා. මේ පක්ෂය නියෝජනය කරන්නේ පොඩි මිනිස්සු කියන එක අපි තේරුම් ගන්න ඕන. අපි කොච්චර පැරදිලා තියෙනවාද ගිය අවුරුද්දෙ විතරද? ශ්‍රීලනිපය 60, 65, 77, 82, 89, 2001 පැරදුණා. ජයග්‍රහණ කථා කරනවා වගේම පරාජය වූ දේවලුත් කථා කළ යුතුයි. පක්ෂයක් කළ යුතු දේ පක්ෂ නායකයින් කළ යුතු දේ කුමක්දැයි තේරුම් ගැනීම අවශ්‍යයි වගේම පක්ෂයක් හා පක්ෂ නායකයින් නොකළ යුතු දේ කුමක්දැයි තේරුම් ගත යුතුයි. මේ රටේ දේශීය චින්තනය අපේකම දේශියත්වය මේ සියල්ල වෙනුවෙන් පෙනී සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය.
සමහර අය මට එළිපිට ගහනවා. සමහරු රහසේ ගහනවා. සමහරු විවෘතව ගහනවා. සහමහරු අභ්‍යන්තරව විවෘත නොවන විදියට ගහනවා. මම ඒ හැමොගෙන්ම අහනවා මම පුංචි මිනිහෙක් හින්දාද? මම තමයි මේ රටේ පැලපතින් ආපු කුඹුරෙන් ආපු ගොයම් කොළයෙන් ආපු ජනපතිවරයා. මම ධනපතිපන්තියේ නොවන නිසාද මට ගහන්නේ මගේ තාත්තා ගොවියෙක් නිසාද මට ගහන්නේ මගේ තාත්තගේ අක්කර පහින් යැපිලා සියලු වගකීම් එක්ක ඉදිරියට ආපු පුංචි මිනිහෙක් හින්දද කියලා මම අහනවා. බණ්ඩාරනායක මහතා එදා කිව්වේ ඉහළ පන්තිය බිඳ හෙළා යන්න කියලා. ඒ 56 සමාජ වෙනස්කමත් එක්ක විශ්ව විද්‍යාලයට ගිහින් සිංහලෙන් උපාධිය ලියන්න ඉඩ දුන්නේ බණ්ඩාරනායක මහතා. එතුමාට අනෙක් ජාතින් ගැන අවබෝධයක් තිබුණා. චෙල්වනායගම් ගිවිසුම අත්සන් කරන්න දුන්නේ නෑ. ඉන්දීය හමුදාව ආවා. පළාත් සභා ආවා. මුලින් කළ යුතු දේ අපි මුලින් කළා නම් ඒ මහා ඛේදවාචකයන්ට මුහුණ දෙන්න වෙන්නෑ. අද අපි කරන්න හදන සංහිඳියාවට සමහරු උසුළු විසිළු කරනවා. ජාත්‍යන්තර බලවේගවලට යටකරන සංහිඳියාව කියනවා. එදත් එහෙමයි සෙවල බණ්ඩා රට කඩන්න හදනවා කිව්වා. ධර්මපාලතුමා එද කිව්වේ සිංහලයින් නැගිටිව් කියලා. මම අද ජනපති ලෙස මේ රටේ ජනතාවගේ සේවකයා හැටියට ලාංකිකයනි නැගිටිව් කියලා කියනවා. සමහරු කියන විදියට මේ රට කිසිදු විදේශීය අතපෙවීමකට ඉඩ දෙන්නේ නෑ. ඒ තර්ජන නෑ එහෙම ආවොත් මම ඔළුව පාත් කරන්නේ නෑ. අපට අවශ්‍ය රටක් සමගි ජනතාවක් සිංහල දමිල මුස්ලිම් ජනතාව අත්වැල් බැඳගත් සමාජයක්. හැමකෙනකුම සතුටින් ජීවත්වන සමාජයක්. ඒ නිසා මේ සංවත්සර උළෙලේදී පක්ෂයේ අවුරුදු 65ක ගමන්මග අභියෝගාත්මකයි. එය විශිෂ්ටයි, ශ්‍රේෂ්ඨයි. කටුකයි. වැටෙනවා වැටි වැටී නැගිටිනවා. කොතෙක් වැටුණත් නැගිට නැගිට ඉස්සරහට යන පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි. ඒ නිසා මේ රට ජනතාව සියල්ල එක්ක අපි සියලු දෙනාගේ සහයෝගය අරගෙන කෝටි 9 ලක්ෂයක ණය බරින් මිදෙන්න අපි එකතු වෙන්න ඕන. මේක අත්හරින්නද කියන්නේ. එක පංතියකට ජාතියකට බාර දීලා බෑ. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම හරහා ඇවිත් තිබෙන යෝජනා ඒ බරපතල තත්ත්වය ඉතාම සරල වුවත් එය ජයග්‍රහණය කරන්න සියලු දෙනා එකාවන්ව එක්විය යුතුයි. මේ රට ගොඩගන්න ජනතාවට සුඛිත මුදිත අනාගතයක් හදන්න අද ඔබට මට මෙන්ම හෙට බිහිවන දරුවන්ට සුන්දර රටක් හදන්න සියලු ජනයා සමග අපි එකතුවී සංහිඳියාවෙන් අපි ඉදිරියට යන්න ඕනේ. අදට අවශ්‍ය දේ අද කළ යුතුයි. රෝගියකුට අවශ්‍ය බෙහෙත් අද දිය යුතුයි. මේ රටට තිබුණු පළවැනි ප්‍රශ්නය ජාත්‍යන්තරයේ දෝෂාරොපණ අවලාද ඒ සියල්ලෙන් මේ රට නිදහස් කරගෙන හමාරයි. එජා මහ ලේකම් සමග මම කළ සාකච්ඡාවෙදි කිව්වේ හදිසි වෙන්නේ නැතුව මට මේ කාර්ය කරන්න දෙන්න කියලා.
මට ඒ සඳහා කාලය අවශ්‍යයි. මගේ රට මගේ ජනතාව මගේ මාතෘ භූමිය ස්වාධිනත්වය ස්වදේශිකත්වය රැකගෙන අපේ උරුමය රැකගෙන මේ රට ගොඩනගන්න මට කාලය දෙන්න කිව්වා. එතුමා සිනාමුසු මුහුණින් කිව්වා ඔබ කරගෙන යන්න කියලා. ඒ සියල්ල තේරුම් අරගෙන අපට තිබෙන අභියෝග තේරුම් අරගෙන රටේ ජනතාව රට වෙනුවෙන් වගකීම ඉටුකර ශ්‍රීලනිපයවෙනුවෙන් පක්ෂය පිරිසිදු පොදු ජනතාවගේ මහපොළවේ අඩිය ගහලා යන මිනිසුන්ගේ එකක් කරමු. මේ පක්ෂය නිදහස ප්‍රජාතන්ත්‍රවාදය පොඩි මිනිසුන් වෙනුවෙන් පෙනී සිටින පක්ෂයක් බවට පත් කරමු.‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පක්ෂය රැකගත්තා කියන කතාව මට තේරෙන්නේ නැහැ (නි)
යාන්තම් දැලක් දාල රැකගත්තා ගහගෙන යන්න නොදී. නේද ජයන්ත? (නි)
රට කොටින්ගෙන් බේරාගත් මහින්ද මැතිතුමාට මැලේසියාවේදී විරෝධය... හැබැයි රට පාවාදුන් අයට නම් තර්ජන නැහැ පිටරට ගියත්. අන්න වෙනස !!! (නි)
පක්ෂය බේරාගන්න දඟලන්න කලින් රටත්, සිංහල ජාතියත් බේරාගන්න බලන්න. සිංහලයා රැකුනොත් තමයි නිල් පක්ෂය රැකෙන්නේ. (නි)
පද්මිණි, ජනාධිපතිතුමා 2015 ඡන්දෙන් පැරදුන අයව ජාතික ලැයිස්තුවෙන් ගෙනවිත් ඇමතිකම් දුන්නෙත් තමන්ගේ අභිමතයට. ඒකත් අපේ දරුවන්ගේ පිනටද? (නි)
කැපවීමේ තරම ගැන මහජනතාව දන්නවා. මහින්දට අගමැතිකම දිනුවත් දෙන්නේ නැහැ කියලා ඡන්ද කරලා තමයි ආසන 96 ට බැස්සුවේ. නැත්නම් 113 ට වැඩියෙන් ගන්න පුළුවන්කමක් තිබුනා. පක්ෂයට ආදරය නිසාද හිටපු අගමැති ඉවත්කරලා රනිල් අගමැති කළේ? තව බොහෝ දේ කීමට ඇත. (නි)
කාට කියන්නද මේ අවනඩුව? මහා මැතිවරණයේදී ශ්‍රීලනිපය පාවාදුන්නේ කවුද? ජනතාව මැරිලා ඉපදුනේ නැහැ. මේ කතා අපිට වලංගු නැහැ. (නි)
ගාල්ලේ මැයි දිනයට ආවේ ඉතිහාසයේ වැඩිම සෙනඟ නම්, ඔය සංවත්සරයට එන සෙනඟ ගැන හිතාගන්න පුළුවන්. (නි)
මට කිවයුතු දෙය ඉහත අදහස් වලින් කියවී ඇති නිසා නිහඬවෙමි (නි)
ක්‍රීඩාංගනයෙන් බාගයක පුටු තියලා තිබුනා දැක්කා. පිටත සෙනඟ ඉන්නවා කිවු වෙලාවෙත් ඇතුළේ තැනින් තැන ඉඩ තිබුනා. (නි)
රාජපක්ෂ මැතිතුමා ඔබට බාරදුන්නේ ස්ථාවර රටක් මෙන්ම පක්ෂයක් බව හැමෝම දන්නවා (නි)
කරුණාකර රට රැකගන්න (නි)
න්‍යායාත්මක ටොන් එකකට වඩා ප්‍රායෝගික අවුන්සය අපට අගනේය (නි)
කතා තිබුනට වැඩ නැහැනේ (නි)
දැන් ප්‍රමාද වැඩියි. අපිට ආපසු හැරෙන්න බැහැ. ඉතිරි අවුරුදු තුනත් ඔහොම දුවන්න (නි)
දැන් ඔය කතා කියලා වැඩක් නැහැනේ (නි)
ඩිංගිරි,බැස්ටියන් ,රවී ඔලුව අතගාල අන් තියෙනවද බලන්න ,මෙතුමා කියන කතාව හරි ඔයාලට මෙතුමා වැරදි වගේ පෙනුනට මෙතුමා යන මග හරි (බ)
අනාගත ශ්‍රීලනිප රජයට පළමු වෙඩි මුරය කුරුණෑගලින් අද තැබූ බවත් ජනපති කීවේය අපි පවුල් පිටින් උඩ පැනගෙන ඡන්දය දුන්නේ මම නිර්පාක්ෂිකයි කියපු නිසා . (බ)
එතකොට හංසයා ගිවිසුම හොරෙන් ගැහුවා කියලා රාජිතයි චන්ද්‍රිකායි කියන්නේ බොරුද. (බ)
ඡන්දයකට ගියොත් අනිවාර්යෙන්ම පරාජය.මන්ද උතුරු නැගෙනහිර ජනතාව මේකට සහභාගි වුණාට ඡන්දය දෙන්නේ දෙමල සංවිධානයට සහ මුස්ලිම් ක්‍රෝංග්‍රසයට පමණයි (බ)
සංහිඳියාව යනු උතුරෙන් හමුදා කඳවුරු ඉවත් කිරීමද ?දෙවන ලෝක යුද්දයෙන් වසර 70 ගිහිල්ලත් ඇමෙරිකානු හමුදාව තවමත් ජපානයේ හා ජර්මනියේ සිටින්නේ ඔවුන් නැවත තුන්වන ලෝක යුද්ධයක් ඇතිවේ කියල ඊට මුහුණ දීමටද , අැයි අපි විතරක් වෙනස් විදියට හිතන්නේ ? එය සන්හිදියාවද නැත්නම් බියගුළු කමද ?(බ)
තෙරන්න තව බොහෝකල් තියෙනවා (බ)
අවංකවම බණ්ඩාරනායක ප්‍රතිපත්ති මත පිහිටලා පක්ෂය රැක ගැනීමේ අප්‍රතිභත දිරියෙන් තමයි මෙතුමා කටයුතු කළේ , මේ අවස්ථාව ගිලිහුනොත් බබත් බබාගේ අම්මත් සුන් (බ)
මේ කියන විදිහට මෙයා පක්‍ෂය රැකගත්තානම් මහා මැතිවරණය වෙලාවේදී පක්‍ෂය පරාජය කරන්න කැප වුනේ මොකෝ දන්නේ නැහැ. සහන්ගේ දේශපාලන දැක්ම ගැන නම් කනගාටුයි. (බ)
කතාව හොදයි. ඒ වගේම වැඩත් තිබුනානම් තවත් හොදයි (බ)
ඉන්න සෙනග බලන්න තව පින්තූර ඕනේ (බ)
තවමත් වහල් බවින් මිදෙන්න බැරි කොටසක් ඒකාධිපතියෙකුගේ ගුණ වයනවා. මෙයා පොදු අපේක්ෂක වුනේ ජාතියේ ඔබ දරුවන්ගේ පිනට. වසර 2 කලින් ඡන්දය තිබ්බේ තමාගේ අභිමතයට. නිවහල් මනසින් සාධාරණව හිතන්න.(බ)
ප්‍රභාකරන් කිව්වනේ අපිට යමක් මතක තියෙන්නේ සති දෙකක් විතරයි කියලා.ඒ නිසා ඡන්දෙදි මෙතුමා අපට දීපු පොරොන්දු දැන් අපට මතක් නැතුව ඇති කියල මෙතුමා හිතනවා ඇති (බ)
මහින්ද ආණ්ඩුවෙන් වරදාන ගත් නිවටයන් කෑගහන්නේ රට ගැන හිතා නොවේ. කුමන පක්ෂයකින්, කුමන නායකයෙක් හෝ හරි දෙයක් කරනවා නම් අපේ රටේ අනාගතය ගැන හිතා සහයෝගය දෙමු. (නි)
ජනාධිපති තුමනි ඔබට ජය වේවා (බ)
නිර්පාක්ෂිකයි කියලා ඡන්දෙ ඉල්ලලා දැන් කියනවා පක්ෂය අරක්ෂා කරන්න එහෙම කළාලු. පව් අනේ අපි! (නි)
ඒකාධිපති වියරුවෙන් සහ පරපෝෂිත පවුල් කොල්ලයෙන් රට රැකගත් ජනාධිපතිතුමාට ජයවේවා! (බ)
මේවා අහද්දී අපේ ඇඟේ ලේ කෝපවෙන එක විතරයි වෙන්නේ (නි)
බයිලා තමයි..(බ)
පහර දෙන්නේ යූ එන් පී ආණ්ඩුවක් අටවා ගන්න කුමන්ත්‍රණය කරලා දැන් රට ජාතිය පාවා දෙන නිසා (බ)
පද්මිණී, මහින්ද මැතිතුමා යුද්ධය අවසන් කළෙත් තමන්ගේ අභිමතයට. එතකොට ඒකත් වැරදිද? (නි)
පක්ෂය ඔබේය. ජනතාව මහින්දගේය. එම ජනතාවට ඔබ කෙසේවෙතත් මහින්ද නම් වීරයෙකි.. (නි)
රට බේරා ගත් මහින්දට මැලේසියාවේ දී විරෝදය රට පාවා දුන් අයට තර්ජන නැහැ (බ)
අනේ ඉතින් ඔබ තුමා කතාවට දක්ෂ වුනට වැඩට අදක්ෂ බව එ.ජා මහ ලේකම්(මුන් ) තුමාත් දන්නවා එ්කයි හිනාවෙලා ඉදලා තියෙන්නේ .(බ)
ඒකට පිළිතුර අපි ඡන්දය වෙලාවට දෙන්නම් (නි)
මෙයාලගේ ඔක්කොම සන්හිදියාවල් සිංහල අපිට පමණි .උතුරේ දෙමල ජනයා ඔහුන්ගේ අරමුණ වත්මන් පාලකයා හරහා ලබාගනිමින් සිටිනවා.නැගෙනහිර මුස්ලිම් මින්නිස්සුත් ඔහුන්ට අවශ්‍ය දෙය වත්මන් පාලකයා හරහා ලබාගනිමින් සිටින්නේ.ඔක්කොම නීති පාලන සිංහල ජනතාවට පමණි.උදාහරණ දීමට අවශ්‍ය නැහැ සියලු දෙනාම පසුගිය දිනවල වූ සිදුවීම් විශේෂයෙන් සිංහල බෞද්ධ පදනමට ,ඔය පාලකයා ඒ වෙනුවෙන් වචනයක් කතා කළාද?(බ)
කළු සුද්දන්ගේ පර ගැති දේශපාලන ක්‍රමය කෙදිනක වෙනස් කර ගැනීමට හැකි වෙයිද ?.(බ)
තමන් හිසට එජාප /දෙමල /මුස්ලිම් /ඇමරිකන් අතමය සෙවනැල්ල (බ)
අනේ මේක කවදා ඉවර වෙයිද ? (බ)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දිනවීමට පොදු අපේක්ෂකයා වුවාය කීම බොරුවක්. න්‍යායට අනුව සිදුවීම පැහැදිලි කිරීම නොව සිදුවීමට අනුව න්‍යාය සකස්කර ගැනීමයි. මහින්ද සමඟ තිබු වෛරය පිරිමසා ගැනීමටයි පොදු අපේෂකයා වුයේ. අඩුම තරමින් රනිල් රට තල්ලු කරන දිශාව ගැන සිතීමටවත් ජාතික තලයේ නායකයකු වූ මොහු පෙළඹුනේ නැත. ඉදිරියේ එම කටුක යථාර්ථයට ප්‍රයෝගිකව මුහුණ දෙන විට මෙමෙ වචන සහ කතා හුදු මනන්කල්පිතයක් බවට පත් වනු ඇත. (බ)
ඔබ මහින්දට එරෙහිවුවේ දුම්කොළ ප්‍රශ්නය උඩ නම් අද ඔබ ජනපති වෙලත් ඉටුකරගන්න බැරි හේතුව කුමක්ද ? ඔබ උසාවියේ බංකු උඩ රස්තියාදු වුනාලු ? නිදි වර්ජිතව රැය පහන් කළාලු ? ලමයි කිව්වලු තාත්තේ අපි මැරුණත් වෙනම සටන් කරල ජය ගමු කියල . දැන් මොකෝ ? (බ)
පොර ටෝක් දාන ගණන්කාර අයියලාට වැඩිය, නිහතමානීව කතාකරන බොරු සෝබන නැති මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති තුමාට රටේ ඉන්න නීතිකරුක, විනයගරුක බුද්ධිමත් ජනතාව කැමතියි. එක අතකට අපි මොකටද මෝඩයෝ ගැන කතා කරන්නේ? ඒ අයට කොහොමත් නිවැරදි දේ තේරෙන්නේ නැහැනේ. (බ)
පිටබැද්දර ජයලා එජාපයට කඩේ යනගමන් නිදහස් පක්ෂයට කිඹුල් කදුළු හෙලනවා. ඡන්දෙ තිබ්බම තේරේවි නිදහස් පක්ෂේ සැබැ නායකයා කවුද කියල.(බ)
ඔබතුමා බණ්ඩාරනායක ප්‍රතිපත්ති වලින් කොපමණ දුරස් වී ඇත්ද යන්න පැහැදිලි වන්නේ ,අද ඔබ කරන්නේ එජාපයට ඇවැසි දේ ක්‍රියාත්මක කිරීමේ පහසුකම් සලසන්නා ලෙස මුළු ජාතියම අවාසනාවන්ත තත්වයකට ඇද දැමීමට දැනුවත්ව හෝ නොදැනුවත්ව කටයුතු කිරීම යි .2020 දී සිංහල වර්ගයාගේ ඉරණම ඉතා තීරණාත්මකව විසදෙනු ඇත (බ)
මේවා නිකම්ම කතා විතරයි. වැඩි වන ජන විරෝධය පාලනය වන්න කියපුව. රට ජනතාව ගැන හිතල පාලනය කරනවානම් මේවගේ කතා කියන්න ඕනේ නැහැ.තවමත් එක එක අය සතුටු කරන එක දකින්න තියෙනවා. (බ)
මහින්දවිරෝධී මැලේසියන් නාටකය මේ දවස් වල හරිම ජනප්‍රියයි නේද? ඔය චිත්‍රපටියට හෝල් එකේ සෙනඟ අඩුවුණාට, විසිල් ගහන්න ඉන්න කට්ටියගෙන් නම් ගැලරිය පිරිලා (නි)
පද්මිණි කියාගෙන අදහස් දාන්ටිනේ කොටියෙක්.(බ)
මොන බොරු කිවත් කමක් නැහැ තමන්ගේ පැවැත්මට, නමුත් රට පාවල දෙන එකනම් කැත වැඩක් (බ)
කටින් බතල කොළ හිටවන දේශපාලුවෝ අනුන්ට බැන බැණ රට සවාරි යනවා. ජනතාව දුක් විඳිනවා. (අ)
වෙනත් ආණ්ඩුවක් හදන්නේ මොකටද? මේ ආණ්ඩුව හොඳ නම් මේකම කරගෙන යන්න. මේ ආණ්ඩුව වැරදි නම් දැන්මම එ්ක වැරදියි කියල ජනතාව දැනුවත් කරන්න ඕනෑ. (නි)
තෙවැනි වරටත් ශ්‍රීලනිපය පරාදවීමට අපි ඉඩදෙන්නේ නැහැ (නි)
ඩිංගිරි, සහන් ඇතුළු අයට තාම වැටහිලා නැහැ වගෙයි මාස 12 කට කලින් මෙයාලා කිව්වේ මොනවද කියලා. ඒ වෙලාවේ ශ්‍රීලනිප යේ කකුලෙන් ඇද්දේ නැහැ කියලා අවංකවම කියන්න පුලුවන්ද. දැන් මොනව කිවුවත් ඒ වැරැද්ද නිවැරදි කරන්න බැහැ (නි)
මිනිස්සු ඊළඟ ඡන්දෙදි ඔය ප්‍රශ්නයට නියම උත්තරය දෙයි (නි)
අපිටනම් තේරේනවා බැකි මුන්ට කියපු දේ. රණවිරු ස්මාරක ඉවත් කරලා උතුරු නැගෙනහිරින් බුදු පිළිම ඉවත් කරන්න මට තව කාලයක් දෙන්න කියලානේ. යුද්ධයෙන් බැරිවුණු දේ හීන් නුලෙන් කරන්න බාර අරගෙන තියෙන්නනේ.දේශපාලකයන්ට බැණලා වැඩක් නැහැ. දියුණුව පෙනි පෙනි තියෙද්දී සංහිියාවට මග විවර වෙමින් තියෙද්දි ජන්දය දිලා රට ගැන හිතන්නේ නැතුව දේශපාලකයන් සතුටු කරපු රට පරිහාණියට ගෙන ගිය මහජනතාවට ශාප කරනවා ඇරෙන්න (බ)
මාතරදී මීට වෙනත් විදිහක කතාවක් කිවුවා වගේ මතකයි මට (නි)
මොකක්දෝ මන්දා දේකට රටේම ඉන්න බහුතරය ඉන්නේ එතුමා එක්ක. බුද්ධිමත්, ඒ වගේම සාමයට ගරුකරන ජනතාව ඉන්නේ ‘මෙතුමා‘ එක්ක. හා බොරුද මම කියන්නේ? (නි)
කටින් බතල හිටවලා නම් වැඩක් නැහැ අපිට (නි)
නදී ඔබ හරි . කටින් බතල හිටවල වැඩක් නැ. රට රකින්න. (අ)
මෙතුමා යුද්ධය කාලේ බලයේ හිටියා නම් අද තත්ත්වය කුමක්වේද? (නි)
නිශාන්ත දක්වන අදහස ඉතාමත් වැදගත් (නි)
අනුරාධ වගේ සැබෑ නායකයන් තෝරාදුන් කාටත් පින්සිදුවෙන්න කෝටි 9 ලක්ෂයක ණයකාරයන් වීමට අපට හැකිවී ඇත. රටේ සිටින පීඩිත පන්තියේ මන්දපෝෂණය ඉහළ යාමටද සැබෑ නායකයන් කැපවී ඇත. ශ්‍රී ලාංකික කාන්තාවන් මැදපෙරදිග වහල් සේවයට නොගියොත් ඔක්කොම අනාථවෙන තරමට සැබෑ නායකයන්ගේ ආර්ථික ප්‍රතිපත්ති රටට වැඩදායක වී ඇත. දැනට ඇති දූෂණ චෝදනාවලට කටඋත්තර දීමට එන්නෝ සහ යන්නෝ ගැන දකිනවිටත් සැබෑ නායකයන් ගැන තේරුම් ගැනීමට කාටත් හැකිවිය යුතුය. අද සහ හෙට ගැන පමණක් සිතන ජනතාවගේ දේශපාලන දැනීම රටේ අවාසනාවට හේතුවී ඇත. (නි)
ඔය ප්‍රශ්න වලට උත්තර තිබුණත් ඒවා මෙතන සඳහන් කිරීම අපහසුයි (නි)
කතාව දෝලාවෙන් ගමන පයින් වෙලා නම් වැඩක් නැහැ (නි)
කොටි අනුරාධපුරයටම විත් ජය ශ්‍රී මහා බෝධිය පින්බිම අපේ සිංහල බොදුනුවන්ගේ ලේ වලින් තෙත්කරද්දී මේ වීරයින් කොහේද හිටියේ? විකුම් රංගනලා ඒ පැත්තේ හිටියා නම් පස්ස නොබලයි දුවන්නේ (නි)
මෝඩ ශ්‍රී ලාංකිකයන්ගේ මොළය සේදීමේ ක්‍රමය දේශපාලකයන් හොඳින් දන්නවා (නි)
ජනතාව කා සමඟද කියා පළාත් සභා ඡන්දයේදී බලාගමු (නි)
පසුගිය රජයේ ඒකාධිකාරී හැසිරීම නිසා නොසතුටුව ජනතාව ගත් තීරණයෙන් දැන් වෙමින් තිබෙන්නේ රටේ පරිහානියයි. (නි)
ඔබ එදා කිව්වේ නිර්පාක්ෂික වෙනවා කියලා නේද? ඔබ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා වෙනවා කිවුවා නම් කවුද ඔබට ඡන්දෙ දෙන්නේ..? ආවේ දින 100 න් ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න නේද? ඇයි දැන් මේවා කියන්නේ.. ? (නි)
ඔයාලට කලින් ඔය කට්ට ශ්‍රීලනිපයට වැඩ කරලා අපි කෑවා. ඔයාලට වේලපහින් කටු ඇනුනට දැන් රජකමත් හම්බවෙලා. අපිත් චන්ද්‍රිකාට මහින්දට දිගටම කඩේ ගියා නම් අපිත් සමහරවිට අද හොඳ තැනක (නි)
ජනාධිපතිතුමනි, ඔබගේ කතාවේ බොහෝ සාරවත් දේවල් අඩංගු වුණත් පසුගිය 30 වසර තුළ පැවති යුධය ත්‍රස්තවාදයට විරුද්ධව අපගේ වීරෝධාර රණවිරුවන් ජීවිත පරිත්‍යාගයෙන් කළ සටනක් බව වර්තමාන සේනාධිනායකයා ලෙස ඔබ අමතක නොකළ යුතුයි (නි)