(ප්‍රසාද් රුක්මල්)

දිට්වා ආපදා සමයේ නායයාමට  ලක්වූ පස්සර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දබකොටේ මඩිත්තගොල්ල නායයාම යළි වර්ෂාවත් සමඟ අද (7) සිට සක්‍රිය වීමට පටන්ගෙන ඇති බව පස්සර ප්‍රාදේශීය ලේකම් ගංගානි සෝමවීර මහත්මිය පැවසුවාය .

මෙම ස්ථානයේ පසුගිය දිට්වා සුලි කුණාටුවත් සමඟ සිදුවු නායයාමෙන් වැසී ගිය මඩිත්තගොල්ල මාර්ගය පිළිසකර කර එහි පස්කදු ගොඩගසා ඇති බවත්, දැනට පවතින වර්ෂාවත් සමඟ එම පස් ජලය සමග සෝදාගෙන පහලට ගලාඒමට පටන් ගැනිමෙන් මඩිත්තගොල්ල මාර්ගය ද යලි පස්කදු වලින් වැසී අවහිර වී ඇතයි ප්‍රාදේශීය ලේකම්වරිය කීවාය .

දිට්වා සුලි කුණාටුවෙන් නායයාමට ලක්වූ මඩිත්තගොල්ල මෙම ස්ථානයේ  එක නිවසක් පිහිටා ඇතිබවත්, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නිළධාරින් විසින් මෙම ස්ථානය පරික්ෂා කර බලා මෙම ස්ථානය අධි අවදානම් කලාපයක් ලෙසට නම්කිරීමත් සමඟ එම ස්ථානයේ නිවසක පදිංචි එක් පවුලක සාමාජිකයින් තිදෙනෙකු  මීට පෙර එම ස්ථානයෙන් ඉවත්කර ආරක්ෂිත ස්ථාන කරා යොමු කළ බව පවසන පස්සර ප්‍රාදේශීය ලේකම් ගංගානි සෝමවීර මහත්මිය යළි පැවති වියළි දේශගුණික තත්ත්වයත් සමඟ ඔවුන් එම නිවසට පැමින සිටියදි යලි අද (7) දින එම නිවසින් ඉවත්කර ආරක්ෂිත ස්ථාන කරා යොමු කළ බවද  පැවසුවාය.

දැනට  නොකඩවා දින කීපයක් මුලුල්ලේ වර්ශාව පතිත වෙමින් පවතින හෙයින් තවදුරටත් මාර්ගයට ජලය සමග පස්කදු කඩා වැටෙමින් ගලාගෙන එන නිසාවෙන්  මඩිත්තගොල්ල මාර්ගයට ගලාගෙන ආ පස්කදු ඉවත්කිරීමට අපහසු වී තිබෙන බවත් ඔවුන් දැනට මඩිත්තගොල්ල ගම්මානයට යාමට අතුරු තාවකාලික මාර්ගයක් භාවිතා කරන බව ප්‍රාදේශීය ලේකම්වරිය සදහන් කර සිටියාය.

කෙසේවෙතත් පස්සර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දඹකොටේ ග්‍රාමසේවා වසමේ පිහිටි මඩිත්තගොල්ල නාය යාමට ලක්ව ඇති ස්ථානය නැරඹීමට සහ ජායාරූප ගැනිමට  යාමෙන් මෙන්ම එම ස්ථානයේ ගැවසීමෙන් වළකින ලෙසට කහටරුප්ප පොලිසිය ජනතාවට අනතුරු හගවමින් දැනුම් දී සිටි.