(පුෂ්පකුමාර මල්ලවආරච්චි)

ගෘහ විද්‍යා පාඩමකදී සකස් කළ බව කියන ආහාරයක් අනුභව කිරීමෙන් පසු අසාත්මිකතාවකට පත්වූ පාසල් සිසු සිසුවියෝ 12 දෙනෙක් අද දහවල් මීරිගම මූලික රෝහලට ඇතුළත් කරනු ලැබූහ.

මෙසේ රෝගාතුර වී ඇත්තේ වේවැල්දෙනිය ප්‍රදේශයේ පාසලක හයවැනි ශ්‍රේණියේ සිසුහු පිරිසකි.

පාසලේ ගෘහ විද්‍යා පාඩම අනුව නියමිත කාල පරිච්ඡේදයේ දී ආහාරයක් සකස් කර ඇතැයිද එය ආහාරයට ගත් සිසු පිරිසකගේ සිරුර කැසීමට පටන් ගත් පසු මෙසේ රෝහල් ගත කරඇතැයිද හෙලිවී ඇත.

බාහිර ප්‍රතිකාර ඒකකයේදී මූලික ප්‍රතිකාර ලබා දීමෙන් පසු සිසුන් වාට්ටුවකට ඇතුළත් කළ බවත් සිසුන්ගේ තත්ත්වය බරපතල නොවන බවත් රෝහල් ප්‍රකාශිකාවක සඳහන් කළාය.

සිද්ධිය පිළිබඳව දංඕවිට පොලිසිය මගින් ද පරීක්ෂණයක් පැවැත්වීමට නියමිතය.