(නිමල කොඩිතුවක්කු)

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල වී වසර 3ක් ගතවුවත් ප්‍රහාරයෙන් මිය ගිය සහ ඉන් බලපෑමට ලක්වූ වින්දිතයන් හට සාධාරණයක් ඉටු නොවීම සම්බන්ධයෙන් ඉතාලියේ වතිකාන් කාදිනල් ප්‍රියෙට්‍රෝ පැරලින් උන්වහන්සේ වෙත කරුණු දක්වා සංදේශයක් භාරදුන් බව සමගි ජන බලවේගයේ මානව හිමිකම් ප්‍රධානී පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර කාවින්ද ජයවර්ධන මහතා ප්‍රකාශ කළේය.

ඉතාලියේ වතිකානයේදී අද(20) පස්වරුවේ උන්වහන්සේ බැහැදැක රටේ තත්වය සම්බන්ධයෙන් උන්වහන්සේට කරුණු පැහැදිලි කර දී සංදේශයක් භාරදීමට කටයුතු කළ බවත් මන්ත්‍රීවරයා කීවේය.

එහිදී ශ්‍රී ලංකාව තුළ ඇති වී තිබෙන දේශපාලනිකමය සහ ආර්ථිකමය අර්බුදය පිළිබඳවත් දීර්ඝ වශයෙන් කරුණු දැක්වූ බව ඔහු පැවසීය.

ජනාධිපති විමර්ශන කොමිසමේ වාර්තාව ජනසතු කර එහි තිබෙන නිර්දේශ ක්‍රියාත්මක කිරීමටත්, අපක්ෂපාතී නිර්පාක්ෂික පරීක්ෂණයක් ක්‍රියාත්මක කිරීමත්, රටේ තිබෙන නීති රාමුව තුළ නීතිය ක්‍රියාත්මක කර වැරදිකරුවන්ට දඬුවම්දීමත් යන කාරණා පිළිබඳව දීර්ඝ වශයෙන් උන්වහන්සේ සමග සාකච්ඡා කළ බවත් ජයවර්ධන මහතා කීවේය.

පාස්කුදා ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණය සහ යුක්තිය ඉටු කරන බවට පවසා බලයට පත් වූ ආණ්ඩුව වසර දෙකක් යනතෙක් මේ සම්බන්ධයෙන් කිසිවක් ඉටු නොකිරීම සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් එහිදී කරුණු පැහැදිලි කළ බවත් ජයවර්ධන මහතා කීවේය.

රටේ පවතින ආර්ථිකය ගොඩගැනීමට අවශ්‍ය කරන මගපෙන්වීම සහ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ වින්දියන්ට සාධාරණත්වය ඉෂ්ට කිරීම සඳහාද වතිකානුවේ අවධානය යොමු කිරීමේදී උන්වහන්සේලාගේ සහයෝගය සහ මගපෙන්වීම බලාපොරොත්තු වෙන බව මෙහිදී ප්‍රකාශ කළ බවත් ඔහු පැවසීය.