(සුජිත් හේවාජුලිගේ )
අධික ගාස්තු ගෙවාගත නොහැකි විදුලි පාරිභෝගිකයන් ලක්ෂ හයකට වැඩි පිරිසකගේ විදුලිය සැපයුම් ඉදිරියේදී විසන්ධියට ලක්වීමේ බරපතළ අවදානමක් පවතින විදුලිබල මණ්ඩල ආරංචි මාර්ගවලින් පැවසේ.
මෙම අවදානමට වැඩි වශයෙන් ලක්වන්නේ අඩු ආදායම්ලාභි පවුල් බවද ඒ ආරංචි මාර්ග සඳහන් කළේය.
අධික විදුලිය සහ ජල ගාස්තු බිල්පත් පියවීම ආර්ථික අර්බුදය ආරම්භ වීමත් සමග සියයට 40 කින් පමණ අඩුවී පැවතුණ බවත් විදුලිය බිල සැලකිය යුතු ප්‍රමාණයකින් වැඩිවීම සහ ජල බිල ඉදිරියේදී වැඩිවීම සැලකිල්ලට ගෙන එම බිල් ගෙවීම ඉදිරියේදී තවදුරටත් අඩුවිය හැකි බවත් විදුලිබල හා ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලවල නිලධාරීහු පෙන්වා දෙති.
මේ අතර පාර්ලිමේන්තුවේදී පසුගිය 22 වැනිදා අදහස් දැක්වූ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවෙල් සුරේෂ් මහතා පැවසුවේ අධික විදුලි ගාස්තු හේතුවෙන් වතුකරයේ බොහෝ පැල්පත් නිවාස ළඟදීම අඳුරට යනු ඇති බවයි.
වතුකරයේ අඩු ආදායම්ලාභී ජනතාවට ලොකු විදුලි බිල් ගෙවීමට කිසිසේත්ම හැකියාවක් නැතැයි පැවසූ මන්ත්‍රීවරයා වතුකරයේ ජනතාව වෙනුවෙන් විදුලි බිලට සහනයක් ලබා දෙන්නැයි ඉල්ලීමක් කළේය.
මේ අතර අධික විදුලි බිල්පත් හේතුවෙන් පාරිභෝගිකයන් සිය විදුලි උපකරණ පාවිච්චිය දැනටමත් විශාල වශයෙන් අඩු කර ඇති අතර එය ඉදිරියේදී තවත් වැඩිවිය හැකි බව එම නිලධාරීහු සඳහන් කරති.
බොහෝ ජනතාව විදුලිය විශාල වශයෙන් වැය වන ගෘහස්ථ ශීතකරණ , විද්‍යුත් කේතල සහ සිවිලිම් විදුලි පංකා දැනටමත් භාවිතයෙන් ඉවත් කර ඇති බව දැනගන්නට ඇත.
මේ අතර අධික විදුලිය සහ ජල ගාස්තු හේතුවෙන් විදුලිය සහ ජලය වංචනිකව ලබා ගැනීමේ සිද්ධීන්ද වැඩිවී ඇති අතර එය ඉදිරියේදී තවදුරටත් වැඩිවිය හැකි බව ආරංචි මාර්ග සඳහන් කළේය.
විදුලිය සහ ජලය නීති විරෝධීව ලබා ගන්නා පුද්ගලයන්ට එරෙහිව ඉදිරියේදී නීතිය තදින් ක්‍රියාත්මක කිරීමට එම මණ්ඩල ප්‍රධානීහු බලාපොරොත්තු වෙති.
අධික විදුලි සහ ජල ගාස්තු හේතුවෙන් තමන්ගේ එදිනෙදා අවශ්‍යතා වෙනුවෙන් වැය කිරීමට ඇති මුදල්ද එම බිල්පත් ගෙවීමට වැයකිරීමට සිදුවී ඇතැයි පාරිභෝගිකයෝ පවසති.
ශ්‍රී ලංකාවේ සමස්ත විදුලි පාරිභෝගිකයන් සංඛ්‍යාව ලක්ෂ හැටක් පමණ වේ. සමස්ත ජල සබඳතා සංඛ්‍යාව ලක්ෂ 24 කි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලක්ෂ 69 අඳුරටම ඇදලා දාපු එකේ පවුල් ලක්ෂ හයක් මොකක්ද?
තවත් මොවුන්ගේ පස්සෙන් යන වහල්ලු...
එයා කඳුකරයේ ජනතාව ගැන දුක්වෙනවා, වෙන වෙනම නොවී පොදුවේ මිනිස්සුන්ගේ අමාරුකම ගැන කතාකරන්න කවුරුවත් නැහැනේ..
ගෙවන්න බැරි නම් නිකන් ඉන්න, හැමදේම, නිකන් දෙන්න බෑ, ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ නායකත්වයෙන් අපි ඉදිරියටම යනවා....
ඔන්න අධික විදුලි පරිභෝජනයට විසඳුම...
මේව නිවුස්ද?
ගාස්තු වැඩිකළාම විදුලිය විසංධි කිරීමට කටයුතු කරන්නේ නැහැ කියලා ඇමැතිවරයා කිව්වා. ඒත් ඊයේ දහවල් එකයි විසිපහට පමණ අපේ ප්‍රදේශයේ විදුලිය එක්වරම විසංධි වුණා.. හැන්දෑවේ මණ්ඩලයේ අංකයකට කතා කළාම යුහුසුළුව ක්‍රියාත්මක වෙනවා කියලා රාත්‍රියේ 9.27 සිට 26 ඉරිදා උදේ දහය දක්වා විසන්ධි කිරීමට කටයුතු කරනවා කියලා දැන්නුවා එහෙම කලේ විසංධිවුණු වෙලාවේ සිට පැය අටකට පසුව තමයි ඇමැතිතුමා මොනවද මේ වැඩ කියලා කියන්නේ...?