(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

සතුන්ට හිංසා  වන පරිදි එළුවන් 60 දෙනකු ප්‍රවාහනය කළ පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේ රුපියල් 10,000ක අල්ලසක් දීමට උත්සහ කර ඇතත් වැටලිම කළ උප පොලිස් පරීක්ෂකවරයා එය ප්‍රතික්ෂේප කර ඔවුන් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පවසයි.

අල්ලස් මුදල් ලබාගැනීම ප්‍රතික්ෂේප කර සැකකරුවන් දෙදෙනා එළුවන් හැට දෙනාද සමඟ අත්අඩංගුවට ගනු ලැබුවේ කන්තලේ මූලස්ථාන පොලිසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක චන්ද්‍රසිරි මහතා විසිනි

උප පොලිස් පරීක්ෂක චන්ද්‍රසිරි මහතා කන්තලේ හබරණ මාර්ගයේ රාජකාරි කටයුත්තක් සඳහා යමින් සිටියදී සැකකටයුතු ලොරියක් දැක එය නතර කර ඇත. ලොරි රථයේ එළුවන් 60 දෙනෙකු පමණ පටවා සිටින අයුරු දැක සත්ව හිංසා පනත යටතේ එම ලොරි රථයේ සිටි දෙදෙනා සැකපිට සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ

මෙහිදී එක් සැකකරුවකු උප පොලිස් පරීක්ෂකවරයාට රුපියල් 10,000ක මුදලක් ලබා දෙන බව පවසා එළුවන් සමග ලොරි රථය මුදාහරින ලෙස ඉල්ලීමක් කර ඇතත් උප පොලිස් පරීක්ෂකවරයා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර රථයේ සිටි දෙදෙනා එළුවන් ද සමඟ අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි

කන්තලේ කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අශෝක වීරක්කොඩි මහතාගේ උපදෙස් මත කන්තලේ මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ ඩබ්ලිව් එල් වික්‍රමරත්න මහතාගේ මෙහෙයුම යටතේ අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි