ඇඹිලිපිටියේ දී තුන් මහල් ගොඩනැගිල්ලකින් වැටී පුද්ගලයකු මිය යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියේ ගැටළුවක් මෙතෙක් කළ විමර්ශනවලින් අනාවරණය වී නැතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියයි.

‘අධික ශබ්දය නිසා තමන්ට බාධා වන බව කියමින් පසුගිය හතර වැනි දා රාත්‍රී 11.20ට ඇඹිලිපිටිය සහකාර පොලිස් අධිකාරීට දුරකතන ඇමතුමක් ලැබී තිබෙනවා. ඒ අනුව ඔහු ඒ බව ඇඹිලිපිටිය පොලිසියට දැනුම් දීමෙන් පසු පොලිස් ජංගම රථය එම ස්ථානය ගියා.

එය තුන් මහල් ගොඩනැගිල්ලක්. එහි පළමු මහලේ බැංකුවක් තිබෙනවා. දෙවැනි හා තුන්වැනි මහලේ ඉන්නේ ගොඩනැගිල්ලේ හිමිකරුවන්. පොලිසිය යන විට එහි සාදයක් පැවැත්වෙමින් තිබුණා. අධික ශබ්දය අඩු කරන ලෙස උපදෙස් දී පොලිසිය නැවත පැමිණ තිබුණා.

ඉන් පසු නැවත අලුයම 12.10ට පමණ පොලිසියට දුරකතන ඇමතුමක් ඇවිත් තිබෙනවා එම ගොඩනැගිල්ලේ ගැටුමක් ඇති බව. නැවතත් 12.15ට පමන ඇමතුමක් ලැබී තිබෙනවා ගොඩනැගිල්ලේ සිට පාරේ යන වාහනවලට වීදුරු බෝතල්වලින් දමා ගසන බවට.

රාත්‍රී 12.30ට මිරිහානේ 119 හදිසි ඇමතුම් අංකයටත් දුරකතන ඇමතුමක් ලැබී තිබෙනවා. ඔවුන් 12.32 වන විට එය ඇඹිලි පිටිය පොලිසියට දැනුම් දෙනවා. ඉන් පසු නැවතත් පොලිස් සැරයන්වරුන් දෙදෙනකු සහ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකු ජංගම රථයෙන් එම ස්ථානයට ගොස් තිබෙනවා.

ඔවුන් එහි යන විට කලහකාරී ලෙස හැසිරුණු පිරිසක් පොලිස් නිලධාරීන්ටට පහර දෙද්දි එක් පොලිස් නිලධාරියෙක් එතැනින් පැනගෙන පොලිසියට පැමිණියා. ඔහුගේ නිල ඇඳුම් පවා ඉරී තිබූ බව සඳහන් වුණා.

ඒ සමගම සහකාර පොලිස් අධිකාරී, මූලස්ථාන පොලිස් පරීක්ෂක ඇතුළු පිරිසක් එම ස්ථානයට ගියා. මූලස්ථාන පොලිස් පරීක්ෂකටත් පහර දී තිබෙනවා. ඔහුට මැහුම් 06ක් දමා තිබුණා.

පොලිසියේ පිරිස් පැමිණීමත් සමග සාදයේ සිටි පිරිස් දුවද්දි එක් පුද්ගලයකු තුන්වැනි තට්ටුවෙන් බිමට පැන තිබෙනවා. ඒ මොහොතේම ඔහු රෝහල් ගත කළා.

කලහකාරී ලෙස හැසිරුණු පස් දෙනකු ඒ අවස්ථාවේමත්, තවත් තිදෙනකු ඉන් පසුත් අත්අඩංගුවට ගෙන මහේස්ත්‍රාත්ට ඉදිරිපත් කිරීමෙන් පසු හඳුනා ගැනීමේ පෙරට්ටුවක් සඳහා ජනවාරි 11 තෙක් රිමාන්ඩ් කළා.

තුවාල ලැබූ පොලිසියේ හය දෙනකු කටුවන හා කුට්ටිගල රෝහල්වලට ඇතුළත් කළ අතර තවමත් දෙදෙනකු ප්‍රතිකාර ලබනවා.

ගොඩ නැගිල්ලෙන් බිමට වැටී රෝහල් ගත කළ පුද්ගලයා මිය යෑම සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කළා. ඔහුගේ මරණ පරීක්ෂණයේ දී ඕනෑම කෙනකුට පැමිණ සාක්කි දිය හැකියි.

එම පිරිස කලහකාරී ලෙස හැසිරුණු බවට පාරේ ගිය ත්‍රීරෝද රියදුරකු පවා ප්‍රකාශ ලබා දී තිබෙනවා. ‘

ප්‍රදේශවාසීන් පොලිසියට එරෙහිව උද්ඝෝෂණ කරන නිසා ඇඹිලිපිටිය පොලිසියේ පිරිසක් ස්ථාන මාරු කරන්නේදැයි විමසූවිට පොලිස් මාධ්‍ය ප්‍රකාශක කීවේ පොලිස් නිලධාරීන්ගේ වරදක් අනාවරණය වී නැති නිසා ස්ථානමාරු කිරීමේ සූදානමක් තවම නැති බවයි.