(අජිත්ලාල් ශාන්තඋදය සහ ජයන්ත නානායක්කාර)

කිසිදු පූර්ව දැනුම්දීමකින් හා හේතු දැක්වීමකින් තොරව ඌරුබොක්ක ජාතික පාසලේ 12වන ශ්‍රේණිවලට නිවාඩු දී ඇති බවත් අද (08) පාසලට ගිය 12 වැනි ශ්‍රේණියේ දරුවන් පොලීසියේ මැදිහත්වීමෙන් විදුහල් පරිශ්‍රයෙන් ඉවත්කළ බව දෙමාපියෝ කියති.

‘ ජාතික පාසල් අධ්‍යක්‍ෂවරයාගේ නියෝගයක් මත අද (08)  සිට නැවත දන්වන තුරු 12 ශ්‍රේණියේ සිසුන් සඳහා නිවාඩු ලබා දී ඇත ‘ යනුවෙන් ගේට්ටුවේ දැන්වීමක් ප‍්‍රදර්ශනය කර ඇති බවද ඔවුහු කියති.

පාසලේ විදුහල්පතිවරයා 11 වැනි ශ්‍රේණියේ සිසුවකුට ශාරීරික පීඩාවක් ඇතිවන ආකාරයෙන් කළ පහරදීමේ චෝදනාවකට රිමාන්ඞ්භාරයේ සිට ඇපමත පැමිණි දිනට පසුදා මෙසේ නිවාඩු දී ඇති බව ද දෙමව්පියෝ පවසති.

මේ සම්බන්‍ධයෙන් එම පාසලෙන් විමසූ අවස්ථාවේ එහි ප‍්‍රකාශකයකු පැවසුවේ මාධ්‍යයට තොරතුරු දීමට තමන්ට අවසර නැති බවයි.

සිසුන් ඉවත් කිරිමට පොලීසිය මැදිහත් වූයේ දැයි උරුබොක්ක පොලීසියෙන් කළ විමසීමකදී එහි ප‍්‍රකාශකයකු පැවසුවේ පාසලේ වාර විභාගය පැවැත්වීමට ඉඩකඩ මදිවීම නිසා එම සිසුන්ට නිවාඩු දෙන ලෙසට ජාතික පාසල් අධ්‍යක්‍ෂවරයා එවා ඇති ලිපියක් පාසලෙන් පොලීසියට ඉදිරිපත් කිරීමෙන් පසු නිවාඩු දුන් පන්තිවල දරුවන් නිවෙස්වලට යැවීමට පාසල් පරිපාලනයට සහාය වූ බවයි.

මේ සම්බන්‍ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ ජාතික පාසල් අධක්‍ෂ්‍යවරයාගෙන් තොරතුරු ලබාගැනීමට කටයුතු කළ ද අද (08) මහජන දිනයක් වූ නිසා ඔහු සම්බන්‍ධකර ගැනීම අපහසු බව එම කාර්යාලයේ ප‍්‍රකාශිකාවක් පැවසුවා ය.

එහෙත් පසුව එහි ප‍්‍රකාශයකයකු පැවසුවේ මේ සම්බන්‍ධයෙන් අධ්‍යක්‍ෂවරයා අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ මාධ්‍යය ඒකකයට තොරතුරු ලබාදී ඇති බවයි. එහෙත් එම ඒකකය සම්බන්‍ධ කරගැනීමට ගත් උත්සාහය ව්‍යවර්ථ විය.