( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

සමරිසි ප්‍රජාව පොලිස් අත්අඩංගුවේ සිටියදී  සිදුවන හිරිහැර හා  අපහාස වලට ලක් වන බව කියමින් මෙරට  සිවිල් ක්‍රියාකාරීන් දස දෙනෙකු ගොනු කර තිබූ රිට් පෙත්සමක්  සම්බන්ධයෙන් කරුණු දැක්වීමට  ජනවාරි මස 27 වැනිදා පෙනී සිටින ලෙස  පොලිස්පති වරයා ඇතුළු වගඋත්තරකරුවන්ට   නියෝග කරමින් අභියාචනාධිකරණය අද (08) නොතීසි නිකුත් කලේය.

එම ප්‍රජාවට  සිදුවන හිරිහැර  සම්බන්ධයෙන්  සිදු කළ දීර්ඝ  කරුණු  දැක්වීම සලකා  බැලූ  අධිකරණය මෙම නොතීසි නිකුත් කලේය.

සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොළ යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ  මෙම පෙත්සම කැඳවනු ලැබිණි. 

ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු , තමාරා අන්ද්‍රීස් , ගෞරි පොන්නයියා , රෝසා රොඩ්රි ,චන්ද්‍ර කටුගහ , කල්පන නුවන්ගේ ඇතුලු දසදෙනෙකු විසින් ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න , මනෝ විද්‍යා උපදේශිකා අමා දිසානායක සහ නීතිපති නම් කරනු ලැබ සිටිති.

2020 -2021 අතර වසරක කාලය තුළ සිදු කළ දීපව්‍යාප්ත සමීක්ෂණයකදි ශ්‍රී ලංකාවේ මුළු ජනගහණයෙන් සමරිසි ප්‍රජාව සියයට 14 ක් බව හෙළි වූ බව පෙත්සමෙහි සදහන් වේ . ඒ අනුව මුළු ජනගහනයෙන් 1,469,574 සඛ්‍යාවක් සමරිසි ප්‍රජාවේ සිටින බව පෙත්සම්කරුවෝ කියති.ඔවූහු වයස අවුරුදු 18 ත් - 65ත් අතර වයස් කාණ්ඩ වලට අයත් වූවෝ බවද  පෙත්සමේ සදහන් වේ.

සමරිසි ප්‍රජාව පිළිබදව මහජනතාව නොදැනුවත් වීම සහ වැරදි සහගත සමාජ මතවාදයන් හේතුවෙන්
එදිනෙදා ජීවිතය ගත කිරීමේදී විවිධ දුෂ්කරතාවයන්ට , සහ සමාජ ආසාධාරණයන්ට ලක් වීමට සිදු වන අතර ඔවුන්ට  සාමාන්‍ය ජනතාවගෙන්ද ජීවිත තර්ජන එල්ල වී තිබෙන බවද පෙත්සම්කරුවෝ කියා සිටිති.

2018 පොලිස් වාර්තා අනුව සම ලිංගිකයන් 48 දෙනෙකුට එරෙහිව අපරාධ නඩු පවරා ඇති අතර 2016 දී හියුමන් රයිට්ස් වොච් සංවිධානය විසින් සිදු කළ සමීක්ෂණයේදී කිසිදු හේතුවක් නොමැතිව පොලිසීය විසින් සමරිසියන් අත්අඩංගුවට ගෙන ඔවුන්ට විවිධ හිරිහැර සිදු කර ඇති අතර පොලිස් අත්අඩංගුවේදී ඔවුන් දූෂණයට පවා ලක් වී තිබෙන බව  පෙත්සම්කරුවෝ කියා සිටිති.

දෙවැනි වගඋත්තරකාර මනෝ විද්‍යා උපදේශිකා අමා දිසානායක මහත්මිය මහනුවර පොලිස් ශ්‍රවණාගාරයේදී පොලිස් නිලධාරීන් වෙනුවෙන් වැඩමුළුවක් පවත්වා තිබේ.එම වැඩමුළුවේදී ඇය  ශ්‍රී ලංකාවේ වාසය කරන සමරිසි ප්‍රජාව විලෝපිකයින් පිරිසක් බවත් , එබැවින් තමන්ගේ දරුවන් ඔවුන්ගේ ගොදුරු බවට පත් නොකිරීමට වගබලා ලෙස පැමිණි සිටි පිරිසගෙන් ඉල්ලා ඇතැයි පෙත්සම්කරුවන්ට දැන ගන්නට ලැබී තිබේ.

මෙම මනෝ විද්‍යා උපදේශකවරිය සමලිංගිකත්වය  සම්පූර්ණයෙන්ම ජීව විද්‍යාත්මක හා සමාජ විද්‍යාත්මකව නින්දා සහගත හා පිළිකුල් ක්‍රියාවක් බවත් , සමලිංගික සම්න්ධතාවය ස්වභාව දහමට පටහැනි බවත් ප්‍රකාශ කර ඇති බව පෙත්සමේ සදහන් වේ.

මෙම මනෝ විද්‍යා උපදේශකවරියගේ දේශනය මගින්  පොලිස් ප්‍රජාව සමරිසියන්ට එරෙහිව කටයුතු කිරීමට උනන්දු කිරීමක් සිදු වන බවට පෙත්සම්කරුවෝ සිය පෙත්සම මගින් පෙන්වා දෙති. 

මේ හේතුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12.1 වගන්තියෙන් ප්‍රකාශිතව මූලික අයිතිවාසිකම් කඩ වීමක් සිදු වේ.

සමරිසි ප්‍රජාව පහත් මනුෂ්‍ය කොට්ඨාසයක් ලෙස සලකමින් ඔවුන් සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන්ට වැඩමුළු පැවැත්වීම වළකාලන රිට් ආඥාවක් නිකුත් කරන ලෙසද පෙත්සම්කරුවෝ සිය පෙත්සම මගින් ඉල්ලා සිටිති.එසේම වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කරන ලෙසද , මෙම වැඩමුළු පැවැත්වීම වළක්වාලන රිට් ආඥාවක් නිකුත් කරන ලෙසද පෙත්සම්කරුවෝ සිය පෙත්සමින් ඉල්ලා සිටිති.

විදානපතිරණ නීතීඥ සමාගමේ උපදෙස් මත  පෙත්සම්කරුවන් වෙනුවෙන් ජනාධිපති නීතීඥ සංජීව ජයවර්ධන මහතා පෙනී සිටියේය.