මීට වසර දෙකකට පෙර විවෘත කරන ලද යාපනය පලෙයි දුම්රිය ස්ථානය අද වන විට කිසිදු පහසුකමක් නොමැතිව මගීන්ට අපහසුතා රැසකට මුහුණ දීමට සිදුව ඇති බවට ප්‍රදේශවාසී ජනතාව කියා සිටිති.

යාපනයේ සිටි හො කොළඹ සිට පැමිණෙන දුම්රියට ඇතුල්වීමට හෝ දුම්රියෙන් බැසීමට යාමේදී දුම්රිය ස්ථානයේ කිසිදු ආලෝකයක් නොමැති වීම නිසා පසුගිය දිනයන්හි මගීන් කිහිප දෙනෙකුම අනතුරුවලට මුහුණ පෑ බවට පලෙයි වැසියෝ කියති.

මීට සතියකට පෙර පලෙයි දුම්රි ස්ථානයේදී යාපනයේ සිට කොළඹටු ගමන් කළ දුම්රියකට ගොඩ වීමට පලෙයි දුම්රිය ස්ථානයෙන් උත්සහ ගත් මගියෙකුට ආලෝකය නොමැති වීමෙන් වැටී දුම්රියේ ගැටීමෙන් කොන්ද කැඩුණු බව ද අවට වැසියෝ කියති.

එමෙන්ම රාත්‍රියට පලෙයි දුම්රිය ස්ථානයේ තරුණයින් විසින් මත්පැන් පානය කරන බවටත් මත්පැන් පානය කරන තරුණයින්ගෙන් මගීනටද හිරිහැර සිදු වන බවටත් මෙතෙක් එම ක්‍රියාවන් නැවත්වීමට බලධාරීන් කටයුතු කර නොමැති අතර දුම්රිය ස්ථානයට නිසියාකාරව ආලෝකයක් සැපයීමටද බලධාරීන් පියවර නොගැනීමෙන් තමන් දැඩි සේ අපහසු තාවයන්ට මුහුණ දෙන බවට ප්‍රදේශ වාසී ජනතාව කියා සිටියහ.

මේ පිළිබඳව පලෙයි දුම්රිය ස්ථානයේ නිලධාරීන්ගෙන් විමසූ විට නම කීමට නොහැකි යැයි කියූ නිලධාරියෙකු කියා සිටියේ 

“මේ දුම්රිය ස්ථානය විවෘත කරල අවුරුදු දෙකක් වුනාට මේ වෙන කොට දුම්රිය ස්ථානයේ සවි කරලා තිබුනු හොඳ විදුලි බුබුලු සියල්ලක්ම හොරු ගලවන් ගිහින් දැන් දාල තියෙන්නේ ලෝකල් විදුලි බුබුලු ඒවා සතියක්වත් තියෙන් නැහැ පිච්චෙනවා ඉතිං අපි මේ ගැන දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉහලම නිලධාරීන්ට පවා ලිඛිතව දැනුම් දීලා තියනවා මේ වෙනකම් කිසිම පිළිතුරක් නැහැ”

යනුවෙනි.

01 02 03 06