(නිමන්ති රණසිංහ)

පොල් වගාකිරීමේ මණ්ඩලයේ සේවක අර්ථසාධක අරමුදලෙන් රුපියල් කෝටි හතහමාරකට අධික මුදලක් වංචා කළැයි කියන එම මණ්ඩලයේ විෂය ලිපිකාරිණීය සහ ඇගේ ස්වාමිපුරුෂයා ලබන 19 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් චාමිණී විජේබණ්ඩාර මහත්මිය අද (05) නියෝග කළාය.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන අවසන්ව නොමැති බවට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය නිකුත් කළාය.

මෙලෙස තවදුටත් රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ පොල් වගාකිරීමේ මණ්ඩලයේ විෂය ලිපිකරු වන මොණරාගල ඔක්කම්පිටිය පදිංචි ආර්. එම්. තමරා දිල්හානි සහ ආර්. ඩී. උපුල් රත්නායක නැමැති අඹුසැමි යුවළකි.

මෙම වංචාව සම්බන්ධයෙන් සැකකරුවන් කිහිප දෙනකු අත්අඩංගුවට ගැනීමට මෙන්ම තවදුරටත් ප්‍රකාශ සටහන් කර ගත යුතුව ඇතැයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

සැකකරුවන් වෙනුවෙන් අධිරණයේ පෙනී සිටි ජනාධිපති නිතීඥ රියෙන්සි අර්සකුලරත්න මහතා සදහන් කර සිටියේ තම සේවාදායිකාවගේ බාල දරුවා වයස මාස තුනක් වන බැවින් ඇයට ඕනෑම කොන්දේසියක් මත ඇප ලබා දෙන ලෙසය.

පොල් වගාකිරීමේ මණ්ඩලය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නිතීඥ කමල් විජේසිරි මහතා සදහන් කර සිටියේ සැකකරුවන් මෙම වරද සිදුකර ඇත්තේ දරුවා ලැබෙන්නට සිටියදී බැවින් ඔවුන් වරද සම්බන්ධයෙන් දැනීමකින් සිට ඇති බවත් ඒ හේතුවෙන් ඇප ලබා දීම පිළිබදව විරුද්ධත්වය ප්‍රකාශ කරන බවත් ය.

ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සැකකරුවන් ලබන 19 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට නියෝග කරමින් එදිනට නඩුව කල් තැබීය.