නව පරපුර අතර ජනප්‍රිය යොවුන් ගායකයෙකු වන ප්‍රවීන් සුරංග පසුගියදා සිය අලුත්ම ගීතය වූ 'මතක පෙරදා' ගීතයේ රූප රචනාව එළිදැක්විය. මීට පෙර ගීත කිහිපයක්ම එළිදක්වා ඇති ප්‍රවීන් සිය අලුත්ම ගීතයට හා රූප රචනාවට රසික ප්‍රතිචාර බලාපොරොත්තුවෙන් සිටියි. ඔහුගේ ඉදිරි කලා කටයුතු පිළිබඳව පැවසීමට ඔහු මෙලෙස එක්විය.
"'මතක පෙරදා' කියන්නෙ මගේ තුන්වැනි ගීතය. ඒ වගේම ගීත රූප රචනාව සමග කළ පළමු වැනි ගීතය. මේක ලිව්වෙ රොහාන් පතිරන, මෙම ගීතය සංගීතවත් කළේ කසුන් පොල්ගම්පොල. ගීත රූප රචනාව සිදු කළේ අජන්ත ඒකනායක විසින්. මෙහි මා සමගින් පියුමි හංසමාලි හා සුපුන් සඳරුවන් දෙන්නා රංගනයෙන් දායක වෙනවා. දැනට මේ ගීතය රූපවාහිනි හා එෆ් එම් නාළිකාවල අහන්නටත් දකින්නට ලැබෙනවා. ඒ වගේම අන්තර්ජාල වෙබ් අඩවි කිහිපයකම මේ ගීතය බාගත කර රසවිඳීමේ හැකියාව මගේ ආදරණීය රසික, රසිකාවියන්ට තියෙනවා.*
පාසල් යන අවදියේ සිටම සංගීතයට ඇලුම් කළ ඔහු, පාසල් අධ්‍යාපනය නිමාවත් සමග සංගීත නිර්මාණවලට දායක වී ඇත. රසික චාමර ලියන ලද, චමින්ද සමරනායක විසින් සංගීතවත් කළ 'ඇහෙනවා නම් දුක් මගේ' ගීතය ප්‍රවීන්ගේ පළමු ගීතය වේ. ඉන් පසුව ප්‍රවීන් 'මුණ ගැහුණදා' නමින් තවත් ගීතයක් එළිදක්වා ඇති අතර, එහි පද රචනය රසික චාමර සිදුකර ඇති අතර, සංගීත නිර්මාණය චමින්ද සමරනායක විසින් සිදුකර ඇත.
"මම ගොඩක් සංගීත තරගවලට සහභාගි වෙලා අවසන් වටයට තේරී පත්වුණා. ඒ නිසා මට හිතුණා මට මේ ක්ෂේත්‍රය තුළින් ලොකු ගමනක් යන්න පුළුවන් කියලා. ක්ෂේත්‍රයට ඇවිල්ලා තවම මම කෙටි කාලයයි. ඉතින් මේ කෙටි කාලය තුළ මම යම් දුරක් මේ ක්ෂේත්‍රය තුළ ඇවිල්ලා තියෙනවා කියලා මම හිතනවා. 'මතක පෙරදා' ගීතයෙන් පස්සෙ තවත් අලුත් වැඩ කිහිපයකටම මේ දවස්වල හිත යොමු කරලා තියෙනවා. නමුත්, මම බලාපොරොත්තු වෙනවා තව ටික කාලයක් මේ ගීතය රසවිඳින්න මගේ රසිකයන්ට අවස්ථාව ලබාදෙන්න."
ගීත රූප රචනාව සිදු කළ අජන්ත ඒකනායක වගේම රොහන් පතිරණ, කසුන් පොල්ගම්පොල, සුපුන් සඳරුවන් යන අය මතක් කළ ඔහු, නිරතුරුවම සිය කලා කටයුතුවලට උදව් කරන පවුලේ සියලු දෙනාවත්, 'සුපර් බිට්' සංගීත කණ්ඩායමේ ඔහුගේ මිතුරන් සියලු දෙනාවත් මතක් කිරීමට අමතක කළේ නැත.
බුද්ධික සේනාධීර




COMMENTS