රතුපස්වල සිද්ධිය සම්බන්ධයෙන් හමුදාව ආරම්භ කළ මූලික පරීක්ෂණ උසාවියේ සාක්කි සම්පිණ්ඩන වාර්තාව ලැබුණු පසු එහි චෝදනා එල්ලවී ඇති හමුදා සාමාජිකයන්ට එරෙහිව ප්‍රබල සාක්කි පවතින්නේ නම් හමුදාපතිවරයා විසින් ඔවුන් යුද අධිකරණය හමුවට පමුණුවන බව යුද හමුදාව කියයි.

මෙම සාක්කි සම්පිණ්ඩන සටහන් කිරීමේ ක්‍රියාවලිය දැනට ආරම්භ වී ඇති බවත් එය තවදුරටත් සිදුකරමින් පවතින බව වැඩබලන හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර මහතා පැවසීය.

2013-08-01 දින සිදුවූ මෙම සිදුවීමෙන් පසු හමුදා නීති විධි විධානවලට අනුව එවකට හමුදාපති ලුතිනන් ජනරාල් දයා රත්නායක මහතා මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට මූලික පරීක්ෂණ උසාවියක් පිහිටුවා තිබිණි.

මේ සම්බන්ධයෙන් අධිකරණය හමුවේ විභාග වන නඩුව ලබන නොවැම්බර් 6 වැනිදා නැවත කැඳවීමට නියමිතය.