(නිමන්ති රණසිංහ)

ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර වෙන්දේසි දෙකකදි රුපියල් බිලියන 52ක් සාවද්‍ය පරිහරණය කළැයි කියන සිද්ධියට අදාළ නව පැමිණිල්ලක් සම්බන්ධයෙන් හිටපු මහ බැංකු අධිපති ලක්ෂ්මන් අර්ජුන් මහේන්ද්‍රන් සහ පර්පෙචුවෙල් ටෙෂරීස් සමාගම් සමූහයේ අධ්‍යක්ෂවරයකු වූ අජාන් ගාර්දියෙ පුංචිහේවා යන අය වහාම අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස නියම කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (17) වරෙන්තු නිකුත් කළේය.
 
එසේම, මෙහි අනෙක් සැකකරුවන් වන හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක, පර්පෙචුවෙල්  ටෙෂරීස්  සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස්, ඇතුලු 07 දෙනෙකු අභියාචනාධිකරණයෙන් හෝ වෙනත් අධිකරණයෙන් නියෝගයක් ලද විට අධිකරණයේ පෙනී සිටින ලෙසට ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
 
මෙහි සැකකරුවන් වන්නේ, හිටපු මුදල් අමාත්‍ය සන්දේශ් රවීන්ද්‍ර කරුණානායක, පර්පෙචුවෙල් ටේ‍රෂරිස් සමාගම් සමූහයේ අධ්‍යක්ෂ අර්ජුන් ජෝෂෆ් අලෝසියස්, එහි ප්‍රධාන විධායක නිලධාරී පළිසේන අප්පුහාමිලාගේ දොන් කසුන් ඕෂධී පළිසේන, එහි සාභාපති ජෙෆ්රි ජෝෂෆ් ඇලෝසියස්, එහි අධ්‍යක්ෂකවරුන් වන, චිත්ත රංජන් හුලුගල්ල, රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ හිටපු නිලධාරී සංගරපිල්ලේ පදුමනාපන් සහ සේවක අර්ථසාධක අරමුදලේ නිලධාරී බදුගොඩ හේවා ඉන්දික සමන් කුමාර යන අයවලුන් ය.
 
2016 මාර්තු 29 සහ 2016 වර්ෂයේ මාර්තු මස 31 වැනිදා යන දෙදිනට අදාළව පැවැති බැදුම්කර වෙන්දේසියේදී රුපියල් බිලියන 51.98ක ප්‍රමාණයක් සාවද්‍ය පරිහණය කළැයි යන්න සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අංක බී 16089 නව නිතී කෘත්‍යයට අදාළව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ මෙම නඩුව ගොනු වී තිබිණී. එම සිද්ධිය ලබන 18 වැනිදා යළි මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැදවීමට නියමිතව ඇත.