(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

අමාත්‍යාංශ ලේකම්වරුන් තිදෙනකු  තානාපතිවරයකු  සහ  ආයතන සභාපතිවරුන් තිදෙනකු  පත් කිරීමට උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු  කාරක සභාවේ අනුමැතිය හිමිවී ඇත.

ඒ අනුව, ජපානයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස රොඩ්නි මනෝරන්ජන් පෙරේරා මහතා පත් කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමතිය ලබාදී ඇත.

මේ අතර, වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස බී.එල්.ඒ .ජේ ධර්මකීර්ති මහතා පත්කිරීමටද නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පී.එච්.සී රත්නායක මහතා පත්කිරීමටද මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස එස්. හෙට්ටිආරච්චි මහතා පත් කිරීමටද උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමතිය ලබාදී ඇත.

මීට අමතරව ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ සභාපතිවරයා ලෙස එල්.එච්. රංජිත් සේපාල මහතාගේ පත් කිරීමටද ලංකා විදුලි පුද්ගලික සමාගමේ (LECO) සභාපතිවරයා ලෙස අතුල ප්‍රියදර්ශන ද සිල්වා මහතා පත්කිරීමටද ජාතික ජලසම්පාදන සහ ජලාපවාහන මණ්ඩලයේ සභාපතිවරයා ලෙස නිශාන්ත රණතුංග මහතා පත් කිරීමටද කාරක සභාවේ අනුමතිය හිමිවූ බව  පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.