(හර්ෂණ තුෂාර සිල්වා)

ත්‍රස්තවාදය වැළැක්වීම සඳහා කෙරෙන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රමාදය කෙරෙහි වැඩි සැලකිල්ලක් දක්වන බව මෙරට සංචාරයක නිරත වී සිටින යුරෝපා සංගම් නියෝජිත පිරිස අද (2) ප්‍රකාශ කළහ. 

 ත්‍රස්තවාදය වැළැක්වීම පනත වෙනුවට ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රඥප්තීන්වලට අනුව නව පනතක් ගෙන ඒමට වත්මන් ආණ්ඩුව මැතිවරණ පොරොන්දුවක් ලබාදුන් අතර එම කරුණු යුරෝපා සංගමය ජී.එස්.පී ප්ලස් සහනය ශ්‍රී ලංකාවට නැවත ලබාදීමේදී සලකා බලන ලද ප්‍රධාන කොන්දේසියක් ද වේ. මේ දිනවල ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වී සිටින යුරෝපා සංගම් පාර්ලිමේන්තුවේ නියෝජිතයන්ගෙන් සමන්විත කණ්ඩායමක් කොළඹ යුරෝපා සංගම් කාර්යාලයේදී මාධ්‍ය හමුවක් කැඳවමින් එම කරුණු ප්‍රකාශ කළහ.  
 
මෙම නියෝජිත පිරිසේ සභාපතිවරයා වශයෙන් එක්සත් රාජධානියේ ජීන් ලැම්බර් මහත්මිය කටයුතු කරන අතර එක්සත් රාජධානියේ රිචඩ් කෝබට් එහි උප සභාපතිධුරය දරයි. ජර්මනියේ යූලරීක් මුලර් මහත්මිය සහ එක්සත් රාජධානියේ වජීඩ් ඛාන් මහතා ද එම නියෝජිත පිරිසට අයත්ය. 
 
යුරෝපා සංගමය සංවර්ධනය සංවර්ධනය වෙමින් පවතින රටවල ප්‍රගතිය අරමුණු කරගනිමින් ජී.එස්.පී ප්ලස් තීරු බදු සහනය ලබාදෙන අතර එම සහනය ලබා ගැනීමේදී අදාළ රටවල් මානව හිමිකම්, යහපාලනය, කම්කරු අයිතීන් සහ පරිසරය ආදී කරුණු සම්බන්ධ ජාත්‍යන්තර ප්‍රඥප්තීන් 27කට අනුව කටයුතු කරන්නේ ද යන්න සලකා බලයි. 
 
අදාළ කොන්දේසිවලට අනුව කටයුතු කිරීමට නොහැකි වීම නිසා 2010 වසරේදී ශ්‍රී ලංකාවට ජී.එස්.පී ප්ලස් සහනය අහිමි වී ගිය මේ වසරේදී නැවත ජී.එස්.පී ප්ලස් සහනය ලබා ගැනීමට වත්මන් ආණ්ඩුව සමත් විය. 
 
කෙසේ නමුත් දැනට පවතින ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රඥප්තීන්වලට අනුව ත්‍රස්තවාදය පිටු දැකීම වෙනුවෙන නව පනතක් ගෙන ඒමට කටයුතු කිරීමේදීත් අදාළ ප්‍රතිසංස්කරණ කිරීමේදීත් ශ්‍රී ලංකාව අසමත් වී ඇතැයි මෙරට සංචාරයක යෙදී සිටින නියෝජිත පිරිස පෙන්වා දුන්හ. 
 
යුරෝපා වෙළෙඳපොළ ශ්‍රී ලංකාවේ දෙවැනි ප්‍රධානතම අපනයන වෙළෙඳපොළ වන අතර ජී.එස්.පී ප්ලස් සහනය ලැබීමෙන් ශ්‍රී ලංකාවට යූරෝ මිලියන 300ක ප්‍රතිලාභයක් හිමිවනු ඇතැයි ප්‍රංශ පුවත් සේවය වාර්තා කර තිබිණි. 
මේ අතර ඉකුත් දා මෙරට සංචාරයක නිතර වූ සත්‍ය, යුක්තිය, හානිපූරණය සහ නැවත ඇති නොවීම සහතික කිරීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත පැබ්ලෝ ද ග්‍රෙයිෆ් මහතා ශ්‍රී ලංකාව දිගින් දිගටම සංක්‍රාන්ති යුක්තියේ ප්‍රතිලාභ අහිමි කරගනිමින් සිටින බව පැවැසීය. සංක්‍රාන්ති යුක්තිය ස්ථාපිත කිරීමේදී ශ්‍රී ලංකාව ප්‍රමාද වී ඇතැයි ද හෙතෙම එහිදි කීවේය.  

ඡායාරූපය රොයිටර්