(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

වියළි කාලගුණ තත්වය හේතුවෙන් රට පුරා දිස්ත්‍රික්ක රැසක ජනතාව උග්‍ර  පානීය ජල ප්‍රශ්නයට මුහුණදී සිටින හෙයින් ඒ ජනතාවට කඩිනම්  සහන සලසන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (22) ඉල්ලීමක් කළේය.

විපක්ෂ නායකවරයා මෙසේ පැවසූවේ  ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්නයක් මතු කරමිනි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙසේද පැවසීය.

නියඟය හේතුවෙන් වගාවන්ට සහ සත්ත්ව පාලනය සඳහා ජලය ලබා ගැනීමට නොහැකිවී තිබෙනවා. විදුලි ජනනය සඳහා ජලය ලබා ගැනීමට නොහැකි වී තිබෙනවා.  වන සතුන්ටද  පානීය ජලය ලබා ගැනීමට නොහැකිවීමෙන් විවිධ ගැටළු මතු වී තිබෙනවා. තෘණ භූමි විනාශ වී යෑමෙන්  සතුන්ට ආහාර හිඟයක් ඇති වී තිබෙනවා. ජාතික වැදගත්කමක් ඇති ප්‍රශ්නයක් විදිහට මම මෙය ඉදිරිපත් කරනවා.

දැනට පානීය ජල හිඟයක් පවතින ප්‍රදේශ කවරේද. ජල හිඟය  වැලැක්වීමට රජය ගෙන ඇති ක්‍රියාමාර්ග කුමක්ද. ඉදිරියේදී ජල හිඟය වැලැක්වීමට රජය ගෙන ඇති ක්‍රියා මාර්ග කවරේද.

ගිං කළු නිල්වලා ව්‍යාපෘතියට අත්වූයේ කුමක්ද. වගා විනාශ වූ උඩවලවේ ගොවීන්ට රජය ලබාදෙන සහන මොනවාද. මේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට මුදල් ප්‍රශ්න තිබෙනවා නම් සීනි බදු   වංචාවට සම්මාදම් වූ අය නීතිය හමුවට ගෙනවිත් ඒ  බිලියන 15ක  මුදල සොයා ගන්න  පුළුවන්.ඊට පස්සේ  වගා වන්දි දෙන්න ඒ මුදල යොදාගන්න පුළුවන්. වී මිල ගැන අද ඇමතිතුමාට සතුටු වෙන්න පුළුවන්ද.