(යොහාන් භාසුර)

මෙරට පුද්ගලයකුට මූලික අවශ්‍යතා සපුරාලීම සඳහා මසකට අවම වශයෙන් රුපියල් 17,117 අවශ්‍ය යැයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පසුගිය අප්‍රේල් මාසය සඳහා නිකුත්කළ නිල දරිද්‍රතා රේඛාවෙන් මෙම තොරතුරු හෙළිවිය.

මෙම වසරේ මාර්තු මාසයට සාපේක්ෂව නිල දරිද්‍රතා රේඛාවේ අගය රුපියල් 427කින් ඉහළ ගොස් ඇති බවත් මාර්තු මාසයේ නිල දරිද්‍රතා රේඛාව රුපියල් 16,690 ක් ලෙස පැවැති බවත් එම දෙපාර්තමේන්තුව කියයි.

අප්‍රේල් මාසයේ නිල දරිද්‍රතා රේඛාවට අනුව එහි ඉහළම අගය කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එය රුපියල් 18,461 ක් වන අතර මොනරාගල දිස්ත්‍රික්කයේ රුපියල් 16,367 ක දරිද්‍රතා රේඛාවට අගය අවම දරිද්‍රතා රේඛා අගය බවට පත්ව තිබේ.

මෙරට පුරවැසියකුට මූලික අවශ්‍යතා සපුරාලීම සඳහා මසකට අවශ්‍ය අවම වියදම එම නිල දරිද්‍රතා රේඛාවෙන් ඇස්තමේන්තු අගයක් ලෙස ප්‍රකාශ කරයි.