(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න සහ එච්.එම්.ධර්මපාල)

තියුණු ආයුධ වලින් කපා කොටා පුද්ගලයෙකු ඝාතනය කොට ඔහුව ත්‍රීරෝද රථයකින් රැගෙන ගොස් මොරටුව ගාලුපාරේ ප්‍රසිද්ධ පාසලක් ඉදිරිපිට අතහැර දමා යාමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු ඇතුළු තිදෙනකු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය පවසයි.

මෙසේ මියගොස් තිබුණේ මොරටුව මෝල්පේ සීවලී මාවතේ අංක 18 / 01 හි පදිංචි වර්ණකුල ආරච්චිගේ සුරේෂ් චමින්ද නොහොත් "සුරා" නමැති (35) හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය කියයි.

ඉකුත් (03) දා මෙම සිද්ධිය සිදුව තිබූ අතර එදින රාත්‍රී හතට පමණ බරපතළ කැපුම් තුවාල සහිතව මියගිය පුද්ගලයාගේ මළ සිරුර මොරටුව වීර පුරන් අප්පු විද්‍යාලය ඉදිරිපිට ගාලු පාරේ නවතා තිබූ ත්‍රී රෝද රථයක තිබී මොරටුව පොලිසිය මගින් සොයාගෙන තිබුණි.

පසුව මේ සම්බන්ධයෙන් මොරටුමුල්ල පොලිසිය පරීක්ෂණයක් පවත්වන අතරතුරදී ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය තවත් විමර්ශනයක් ආරම්භ කර තිබුණි.

එහිදී මෙම ඝාතනයට සම්බන්ධ පුද්ගලයෙකු පිටකොටුව බස්නැවතුම්පළේ රැඳී සිටින බවට ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිලන්ත ගමගේ මහතාට ලද තොරතුරකට අනුව නිලධාරි කණ්ඩායමක් එම ස්ථානයට ගොස් ප්‍රධාන සැකකරු ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු අත් අඩංගුවට ගත් බව පැවසේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මොරටුව විල්ලෝරාවත්ත ප්‍රදේශයේ පදිංචි (49) හැවිරිදි ප්‍රධාන සැකකරු හා රාවතාවත්ත හා කටුබැද්ද ප්‍රදේශවල පදිංචි (39) හැවිරිදි දෙදෙනෙකු බව පොලිසිය කියයි.