(ගයාන් සූරියආරච්චි සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

ඉන්දුනීසියාවේ සැගවී සිටියදී අත්අඩංගුවට ගත් පාතාල නායක කෙහෙල්බද්දර පත්මේ, කමාන්ඩෝ සලින්ත ඇතුළු අපරාධකරුවන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ වීඩියෝ පටයක් මාධ්‍ය වෙත අනාවරණය වී ඇත.

ඉන්දුනීසියාවේ මෙට්‍රොපොලිටන් පොලිසියේ අපරාධ විමර්ශන ඒකකයේ සහ ජාත්‍යන්තර පොලිසියේ සහාය ඇතිව සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සදහා විශේෂිත පොලිස් නිලධාරීහු සැකකරුවන් රැදී සිටි ඉන්දුනීසියාවේ ජකර්තාහී කෙබොන් ජෙරුක් ප්‍රදේශයේ පිහිටි සුපිරි මහල් නිවාසය වැටලූ අවස්ථාවේදී පාතාල නායක කෙහෙල්බද්දර පත්මේ සහ පානදුරේ කුඩු නිලංග එම සුපිරි මහල් නිවාසයේ පහළ මහලේ සිටියදී පොලිසිය සැකකරුවන් බිම පෙරළා අත්අඩංගුවට ගන්නා අයුරු වීඩියෝවේ දැක්වේ.

කෙහෙල්බද්දර පත්මේ ඇතුළු පාතාලයන් සම්බන්ධයෙන් විමර්ශන කිරීම සදහා මෙරටින් ඉන්දුනීසියාව බලා පිටත් වූ සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල සහ සහකාර පොලිස් අධිකාරී මහින්ද ජයසුන්දර යන නිලධාරීන්ගේ අවේක්ෂණ තොරතුරු මත ඉන්දුනීසියාවේ පොලිසිය වැටලීම කිරීම සදහා සැලසුම් සකස්කරන අයුරුද එම වීඩියෝවේ දැක්වේ.

අනතුරුව සැකකරුවන් රැදී සිටින සුපිරි මහල් නිවාසය අසලට නිලධාරීන් යන අවස්ථාවේද පාතාල නායක කෙහෙල්බද්දර පත්මේ සහ පානදුරේ කුඩු නිලංග නැමැත්තන් එම මහල් නිවාසය ඉදිරිපිට සිටින අවස්ථාවේදී ඉන්දුනීසියානු පොලිසිය අත්අඩංගුවට ගන්නා අතර අනතුරුව කුඩු නිලංග රැගෙන ඔවුන් රැදී සිටින මහල් නිවාසයට රැගෙන යනු ලැබීය.

පසුව එම නිවෙසේ දොර විවෘත කර පොලිස් නිලධාරීන් නිවෙසට ඇතුළු වන විට කමොන්ඩෝ සලින්ත නැමැත්තා කෑම පිළියෙළ කරමින් සිටින අතර එහිදී ඔහු අත්අඩංගුවට ගත් අතර ඔහු අසල සිටි බැකෝ සමන් නැමැත්තා අත්අඩංගුවට ගත් පසුව කළ සොයාබැලීමකදී සරමක් හැද සිටි තැඹිලි ලහිරු නැමැත්තා ද එරට පොලිසිය අත්අඩංගුවට ගත් අයුරු එහි දැක්වේ.

පසුව බැකෝ සමන්ගේ බිරිය ද අත්අඩංගුවට ගෙන ඇයගෙන් ප්‍රශ්න කරනු ලැබූ අතර ‘ඔබගේ සැමියාගේ නම මොකක්ද?, ඔබ ළග ඔහුගේ ජාතික හැදුම්පත තිබේද? යන්න නිලධාරියකු විසින් විමසන අතර පසුව ජංගම දුරතනයේ තිබී ඇය දෙසට ඡායාරූපයක් පෙන්වමින් ‘මේ ඔබගේ ස්වාමිපුරුෂයාද?  යනුවෙන් ප්‍රශ්න කරන අතර ඔබව කාර්යාලයට රැගෙන යන බවද පොලිසිය පවසන ආකාරය දැක්වෙන අතර අනතුරුව සැකකරුවන් පිරිස ජකර්තා පොලිසිය වෙත රැගෙන යන අයුරුද එම වීඩියෝවේ දැක්වේ.

අනතුරුව ඉන්දුනීසියානු පොලිස් නිලධාරීන් කණ්ඩායම සැකකරුවන් වාහනවලට නංවාගෙන මෙට්‍රොපොලිටන් පොලිසිය වෙත රැගෙන එන අයුරුත් පසුව කටුනායක ගුවන්තොටුපොළ වෙත රැගෙන එන අයුරුත් එම වීඩියෝවේ දැක්වේ.