(හිරාන් ප්‍රියංකර ජයසිංහ )
පුත්තලම ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ මනතිව් ග්‍රාම නිලධාරී වසමට අයත් කාසන්තිව් රජයේ කැලෑව නීති විරෝධී ආකාරයෙන් ඩෝසර් කරමින් තිබියදී අද (17) එම යන්ත්‍ර සූත්‍ර සමඟ පුද්ගලයින් සිව්දෙනකු අත්අඩංගුවට ගත් බව පුත්තලම දිසා වන නිලධාරී භාරත දිසානායක මහතා පැවසීය.
බැකෝ යන්ත්‍ර රියදුරන් තිදෙනෙකු සහ තවත් පුද්ගලයකු මෙලෙස අත්අඩංගුවට ගෙන පොලිස් ඇප මත මුදා හළ බවත් ඔවුන් සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිත බවත් හෙතෙම සඳහන් කළේය.
ඩෝසර් යන්ත්‍ර තුනක් යොදා ගනිමින් කඩොලාන සහිත භූමියත්, රූස්ස ගස් සහිත වැසි තිබු අක්කර 40 කට ආසන්න භුමියකුත් විනාශ කර ඇති බව වන සංරක්ෂණ නිලධාරීහු පවසති.
මෙම භූමිය පුත්තලම කලපු තීරයට යාබදව පිහිටි භූමියක් බවද, අක්කර 100 කට (හෙක්ටයාර් 30 කට ආසන්න) භූමියක් බවද, අදාළ ප්‍රදේශය රක්ෂිත වනාන්තරයක් කිරීමට සූදානම් කර තිබියදී මෙම විනාශය සිදුකර ඇති බවද පරිසරවේදීහු චෝදනා කරති.
පරිසරවේදීන් වැඩිදුරටත් පැවසුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ක්‍රියාත්මක කර ඇති ‘ශ්‍රී ලංකාව, ලෝකයේ කඩොලාන සුරැකීමේ ප්‍රමුඛයා වීමේ සංකල්පය’ මෙම විනාශ කිරීම් සමඟ බරපතල ගැටලුවකට මුහුණ දී ඇති බවයි.
ඇතැම් රාජ්‍ය නිලධාරීන්ගේ නිසි අවධානය සහ සැලකිල්ල නොමැතිවීම හේතුන් තවදුරටත් කඩොලාන පරිසර පද්ධතියට හානි සිදුවෙමින් පවතින බවද ඔවුහු කියති.මෙම වැටලීමට වන ජීවි නිලධාරීහු සහ පුත්තලම විශේෂ කාර්ය බළකා නිලධාරීහු එක්ව සිටියහ.
මේ සම්බන්ධව පුත්තලම දිසා වන නිලධාරී භාරත දිසානායක මහතාගෙන් කළ විමසිමේදී පවසා සිටියේ මෙවැන්නකී.
“ අපේ මායිම් ගල් යොදා මෙම භූමිය වෙන්කර තිබුණේ වසරකට පෙර ඉදලා. රජයේ කැලෑවක් නිසා එය වනාන්තරයක් ලෙස ගැසට් කිරීමට. ඒ සඳහා සියලු කටයුතු සිදුවෙමින් තිබියදී තමා මේ විනාශය කරන්නේ. දිස්ත්‍රික්කය පුරා කඩොලාන සිටුවමින් අපි එය ආරක්ෂා කරන්න සූදානම් වන විට මේ ආකාරයේ දෑ සිදුවීම බරපතල තත්වයක්. මේ සඳහා අපේ ඇතැම් රාජ්‍ය නිලධාරීන් පවා වග කිවයුතුයි. අපි ඉදිරි ක්‍රියාමාර්ග නීතිය අනුව ඉදිරියේදී ක්‍රියාත්මක කරනවා ” යැයි පැවසීය.
පුත්තලම ප්‍රාදේශීය ලේකම්වරිය වන සංජීවනී හේරත් මහත්මිය මෙසේ පැවසුවාය.
“ මේ ඉඩම, ලබාදෙන්න නිර්දේශය දුන්නේ ඉඩම් පරිහරණ කමිටුවෙන් තමා. නමුත් පරිසර ඇගයීම් වාර්තා කැඳවා ඉන් පසුවයි ලබා දෙන්න කටයුතු කර තිබුණේ. එසේ තිබියදී බදු වෙන්දෙසියක් දමා තිබුණා. එහිදි පුද්ගලයින් පිරිසක් මෙම ඉඩම වාර්ෂික බදු පදනමට ලබා ගන්න කටයුතු කළා. නමුත් මේ ඉඩමේ කටයුතු කිසිම ආකාරයකින් අවසන් නොමැති නිසා අපි එළි පෙහෙලි කිරීමට අවසර දී තිබුණේ නැහැ. නමුත් මේ පිරිස කිසිදු දැනුම්දීමකින් තොරව එළිපෙහෙලි කර තිබෙනවා. එය ලොකු වරදක්. මේ නිසා අපි නැවතත් අදාළ ආයතන සමග එකතු වී මේ කටයුත්ත සොයා බලනවා” යැයි පැවසුවාය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාට කියන්නද දෙවියන්ට හැර .... දඬුවම නැවත එහි පැළ සිටවීමට නියෝග කිරීමයි .
මොකෙක්හරි කාලකන්නි දේසපාලුවෙක් ඕක පිටුපස්සේ ඇති. නැත්නම් ඔහොම පොලිස් ඇප ලැබෙන්නේ නැහැ - මේ මිනිස්සු අපිට රටක් ඉතිරි කරන්නේ නැහැ.
මේවා මහපොළොව නුහුලන හෙණ ගහන අපරාධ. අපි මෙහෙම හරි ජීවත් වෙනවා. තව පරම්පරා දෙක තුනක් යනකොට මොනවා ඉතරි වෙලා තියෙනවද දන්නේ නැහැ. පුලුවන්නම් අපේ සොහොනත් ඉන්න හොර හැත්ත මිනියත් එක්කම විකුනලා දාවි.
අනිවාර්යයෙන්ම අන්තවාදීන් ටිකක් තමයි ඕක කරලා තියෙන්නේ...
පොඩ්ඩක් කියවලා බලන්න. ප්‍රාදේශීය ලේකම්වරිය කියනවා ඉඩම බදුදුන්නා කියලා. එහෙනම් මොකටද මිනිස්සුන්ව අල්ලන්නේ? බදු දුන්නට පස්සේ එළිපෙහෙළි කරන්න තව මොන බලපත්රද? සල්ලිදීලා ඉඩම බදු ගත්තේ බලබල ඉන්න නොවේ... වෙන්න ඇති නේද? වරද කරලා තියෙන්නේ නිලධාරීන්... මේ කතා හොඳ පිස්සන්ට විතරයි.
අරුවක්කාලුවට බොරුවට කෑ ගහන අයට මේවා පේන්නැතුව ඇති.