(බිඟුන් මේනක ගමගේ)
පළමු ශ්‍රේණියට ළමයින් ඇතුළත් කිරීමේදී පංති කාමරයක සිසුන් සංඛ්‍යාව 40 දක්වා ඉහළ දැමීමට ගත් තීරණය හකුලාගන්නැයි රජයට බල කරන්නේ යැයි ද එසේ නොකළහොත් ලංකා ගුරු සංගමය ඊට එරෙහිව අනිවාර්යෙන්ම අධිකරණ ක්‍රියාමාර්ග ගන්නේ යැයි ද එම සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා අද(12) පැවසීය.
ළමයින් ඇතුළත් කිරීමේදී පංති කාමරයක සිසුන් සංඛ්‍යාව 35 ක් විය යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් ඇතැයි ද ඒ අනුව රජය ගෙන ඇති මෙම තීන්දුව නීතිවිරෝධී වන බැවින් මෙම ඉල්ලීම කරන්නේ යැයි ද ස්ටාලින් මහතා කීය.
2011 වසරේ දුන් අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයට අනුව ඊළඟ වසරේ සිට පියවර ගත යුතුව තිබුණත් පැවැති ආණ්ඩුව වසරෙන් වසර ක්‍රමිකව සිසු සංඛ්‍යාව අවම කරමින් 2021 වනවිට පංති කාමරයක සිසුන් සංඛ්‍යාව 35 දක්වා අවම කිරීමට චක්‍රලේඛයක් නිකුත් කළේ යැයි ඒ මහතා කීය.
එම චක්‍රලේඛය පවා ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය අවතක්සේරු කිරීමක් වුවත් ඊට අනුව 2016 දී ළමයින් 40 ක් 2017 දී ළමයින් 39 ක් 2018 දී ළමයින් 38 ක් 2019 දී ළමයින් 37 ක් 2020 දී ළමයින් 36 ක් හා 2021 දී ළමයින් 35 ක් වශයෙන් එම ඉලක්කය කරා යෑමට සැලසුමක් ක්‍රියාත්මක වී යැයි ස්ටාලින් මහතා කීවේය.
එසේ තිබියදී නව ආණ්ඩුව නැවතත් පංති කාමරයක සිසුන් සංඛ්‍යාව 40 දක්වා ඉහළ දැමීමට පියවර ගැනීම නීතිවිරෝධී යැයි කී හෙතෙම එම තීන්දුව ආපස්සට හරවන්නේ නැත්නම් ලංකා ගුරු සංගමය අනිවාර්යෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යන්නේ යැයි අවධාරණය කර කීය.
2021 වසරේදී පළමු ශ්‍රේණියට ළමයින් ඇතුලත් කිරීමේදී පාසල්වල සම්මුඛ පරීක්ෂණ පවත්වා දැනුම්දීම් දැනටමත් කර ඇත්තේ 36 දෙනාගේ ඉලක්කය සඳහා යැයි ද එනිසා අලුත් තීන්දුව මගින් සිදුවන්නේ අලුත් අර්බුදයක් නිර්මාණය කරගැනීමක් යැයි ද ස්ටාලින් මහතා චෝදනා කළේය.
පංති කාමරයක සිසුන් සංඛ්‍යාව සීමා කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව ජාතික අධ්‍යාපනය සම්බන්ධයෙන් යහපත් ප්‍රතිසංස්කරණමය පියවරක් යැයි ද ආණ්ඩුවේ නව තීන්දුව ක්‍රියාත්මක කළහොත් කුඩා පාසල් වැසී යාම නොවැළැක්විය හැකි වනු ඇතැයි ද ඒ මහතා කීය.
පාසල්වලට දරුවන් ඇතුළත් කිරීමේදී හටගත් ප්‍රශ්න සම්බන්ධයෙන් මව්පියන් රැසක් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනුකළ පෙස්සම් එකට විභාගයට ගෙන අධිකරණ තීන්දුව ලබාදුන්නේ යැයි ද ළමයින් ඇතුළත් කිරීමේදී ජාතික ප්‍රතිපත්තියක් සැකැසීම එයින් අපේක්ෂා කළේ යැයි ද ස්ටාලින් මහතා කීවේය.
එහෙත් ළමයින් සංඛ්‍යාව 40 දක්වා ඉහළ නැන්වීම ප්‍රගතිශීලී අධිකරණ තීන්දුවක් ආපස්සට හැරවීමක් යැයි ද එය ක්‍රියාත්මක කිරීමට ලංකා ගුරු සංගමය කිසි ලෙසකින් ඉඩ නොතබන්නේ යැයි ද ස්ටාලින් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙම කිව්වට හරක් මඩු වගේ ටකරං ගහලා ලමයි දාහ දෙදාහකට ටියුෂන් දෙන්නෙත් මේ අයම තමයි.
ඉතාම හොඳ ඉල්ලීමක්. ඒ වගේම ටියුෂන් පන්තිවල එක ගුරුවරයාට ළමයි 3500ක් තිබෙන තැන්වලටත් ඔබගේ අවධානය යොමුවනවා නම් හොඳයි.
ඔන්න ඉතින් රෙගුලාසි කාරයන්...
පංති කාමරේ ළමයි ගැන වැඩක් නැහැ ටියුෂන් නැති කරන්නේ නැතුව අධ්‍යාපනේ හදන්න බැහැ.
හැමදාම කරන්නේ ඔලමොට්ටල වැඩ නේ. ඊට වඩා හොද නැත්ද රටේ සියලුම සිසුන් සදහා සම ඉගෙනුම් අවස්ථා ලබා නොදීමටත් පහසුකම් නොලැබීමට එරෙහිවත් උසාවි ගියා නම්. සමහර කණිෂ්ඨ විද්‍යාල තිබෙනවා 1 වසර පන්ති එකක් අනුමත. නමුත් පාසල අවට සිසුන් 60-70 විතර ඉන්නවා. එතකොට සිසුන් 30-40 විතර ඒ පාසලට ඇතුළත් කරන්න බැරි වෙනවා ඒඅයට මොකක්ද කරන්නේ. අනෙක හොර සහතික හදලා ලමයි ඇතුලත් කරන ඒවට මොකක්ද ඔබ ගන්නා පියවර?
දැනට පාසල්වල පංතියක ළමයි 40ක් 42ක් ඉන්නවා. 35ක් පංතියට අරගෙන ළමයි තව 5ක් 7ක් සල්ලිවලට පත්නියට දානවා. ඒකෙන් දේශපාලකයෝ, ප්‍රින්සිපල්ලා සල්ලි ගහගන්නවා. ඒක නැතිව තව ළමයි කීප දෙනකුට නොමිලේම පාසලට යන්න හැකියාව ලැබෙනකොට මෙන්න ජෙප්පෝ කෑ ගහනවා.
අධ්‍යාපනය, අධ්‍යාපනයෙන් විය යුත්තේ කුමක් ද? මේ ගැන සාමාන්‍ය මහ ජනතාවට ඇත්තේ පුදුමාකාර නො දැනුවත්කමක්.
ඉතාම හොඳ වැදගත් පියවරක්. මෙන්න මේවා තමයි සැබෑ වෘත්තිය සමිතියක ක්‍රියාමාර්ග විය යුත්තේ. පංති කාමරයක සිසුන් ගණන 35ට සීමා කිරීම පසුගිය රජය ගත් ඉතා ප්රශස්ත ප්‍රායෝගික තීරණයක්.