(සිතුම් චතුරංග)

යාපනය, චුන්නාගම්, තාවඩි ප්‍රදේශයේ නිවසකට ඇතුළුවී පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ලකර පුද්ගලයින් පස් දෙනෙකු තුවාල සිදුකිරීම සම්බන්ධයෙන්  තරුණයින් තිදෙනකු සැකපිට අත්අඩංගුවටගත් බව චුන්නාගම් පොලිසිය කියයි.

පෙට්‍රල් බෝම්බ ප්‍රහාරය හේතුවෙන් නිවසතුල සිටි මව, පියා,  පුත්‍රයා සහ දියණියන් දෙදෙනෙකු පිළිස්සුම් තුවාල ලබා ඇති අතර ඔවුන් ප්‍රතිකාර සඳහා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කොට තිබේ.

මුහුණු ආවරණයකරගෙන පැමිණි පිරිසක් විසින් නිවසට පහරදී අලාභහානි සිදුකොට මෙම පෙට්‍රල් බෝම්බ ප්‍රහාරය එල්ලකොට ඇති බවත් නිවසතුල සිටි පස්දෙනකු ඉන් තුවාල ලබා රෝහලට ඇතුළත් කොට ඇතැයි පොලිසිය පැවසීය.

යතුරු පැදි කිහිපයකින් පැමිණ නිවසේ ප්‍රධාන ගේට්ටුවෙන් ඇතුළුවූ පිරිස නිවස අසල නවතා තිබූ ත්‍රීරෝද රථයට පහරදී අලාභ හානි සිදුකොට ඇති අතර පසුව නිවැසියන්ගේ ශබ්දය හේතුවෙන්  නිවසට පහරදී මෙම පෙට්‍රල් බෝම්බ ප්‍රහාරය එල්ලකොට ඇති බවත් පොලිසිය පවසයි.