(විමුක්ති එස් රුද්‍රිගු)

ඉරාන යුද්ධය ඉතා ඉක්මනින් අවසන් කිරීම සඳහා රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත ඉදිරිපත් කළ බව ක්‍රෙම්ලිනය නිල නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර දුරකතන සංවාදයක් සිදුවූ බවත් එහිදී රුසියානු ජනාධිපතිවරයා මැදපෙරදිග යුද්ධ ඉක්මනින් අවසන් කිරීම සඳහා වන යෝජනා ඇමෙරිකානු ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කළ බවත් එම නිවේදනයේ සඳහන් විය.

ලොව දෙවැනි විශාලතම තෙල් අපනයකරුවා වන රුසියාව අවශ්‍ය නම් යුරෝපා ගැණුම්කරුවන් සමග කටයුතු කිරීමට සූදානමින් සිටින බවද රුසියානු ජනපති පුටින් ඇමෙරිකානු ජනපතිවරයාට එහිදී දැන්වූ බවද පැවැසෙයි.

ඇමෙරිකාව සහ ඊශ්‍රායලය ඉරානයට පහර දීම හේතුවෙන් ගෝලීය බලශක්ති අර්බුදයක් ඇතිවිය හැකි අවට රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අනතුරු අඟවා පැය කීපයක් ඇතුළත ජනපති පුටින්, ජනපති ට්‍රම්ප්ට මෙම දුරකතන ඇමතුම ලබාදී තිබිණි.

ඇමෙරිකා - ඊශ්‍රායල, ඉරාන යුද්ධය හේතුවෙන් ඉතාමත් ඉක්මනින් හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා නැව් යාත්‍රා කිරීම සම්පූර්ණයෙන් අවහිරවීමේ අවදානමක් තිබෙන බවද රුසියානු ජනපතිවරයා අනතුරු ඇඟවූවේය.

දුරකතන සංවාදය පිළිබඳව අදහස් දක්වමින් ජනපති ට්‍රම්ප් ප්‍රකාශ කර තිබුනේ ජනපති පුටින් සමග ඵලදායී දුරකතන සංවාදයක් පැවැති බවයි.

එසේම යුක්රේන - රුසියා යුද්ධය අවසන් කිරීමෙන් වත්මන් ගෝලීය තත්වයට යම් සහනයක් ලබාදිය හැකි බව රුසියානු ජනපතිවරයාට දැනුම් දුන් බවද ජනපති ට්‍රම්ප් වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

රුසියානු ජනාධිපතිවරයා, යුක්රේන ජනාධිපතිවරයාට වෛර කළත් දුරකතන සංවාදය ඵලදායී එකක් වූ බව ජනපති ට්‍රම්ප් පැවැසුවේය.