(සුජිත් හේවාජුලිගේ)

පළාත් පාලන ඡන්දය ලබන මාර්තු 20වැනිදාට පෙර පැවැත්වීමට කටයුතු කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා පැවසීය.

පළාත් පාලන ඡන්දය කල් දැමීමට කොමිෂන්  සභාව විරුද්ධ බවද සැප්තැම්බර් මාසයෙන් පසු පළාත් පාලන මැතිවරණය පැවැත්වීම නිවේදනය කිරීමේ බලය කොමිෂන් සභාවට ලැබී ඇති බවද  ඔහු සඳහන් කළේය.

පළාත් සභා අද ක්‍රියාත්මක වන්නේ නිලධාරීන් යටතේ බවත් මහජන නියෝජිතයන් සිටිය යුතු තැන්වලට නිලධාරීන් යොදවා පාලනය කිරීමට කොමිෂන් සභාව එකඟ නැති බවත් ඔහු සඳහන් කළේය.

පළාත් සභා අතුරුදන් වී නැති බව පැවසූ සභාපතිවරයා  එය අතුරුදන් කර ඇති  බවද ප්‍රකාශ කළේය.

මේ අතර නිදහස ජනතා සභාවේ සාමාජිකයෝ  පිරිසක් මැතිවරණ කොමිෂන්  සභාවට පැමිණ එහි සභාපති  නීතිඥ නිමල් පුංචිහේවා මහතා අද (12) පෙරවරුවේ හමුවූහ. ඔහු මේ බව පවසා ඇත්තේ එම රැස්වීමේදීය.

මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී  මහාචාර්ය චරිත හේරත් මහතා පැවසූවේ  අනාගත මැතිවරණවලට ඉදිරිපත් වන ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මැතිවරණ කොමිෂන් සභාවට පැමිණි බවයි.

මෙහිදී අදහස් දැක්වූ මහාචාර්ය ජී එල් පීරිස් මහතා පැවසුවේ නීතිය යටතේ මැතිවරණයක් තියන්නම වෙන බවයි.

ව්‍යාජ හේතු ඉදිරිපත් කර මැතිවරණ කල් දැමීමට නොහැකි බවත් මැතිවරණ කොමිෂන් සභාව සමග මේ සම්බන්ධයෙන්  අංග සම්පූර්ණ සාකච්ඡාවක් පැවැත්වීමට අදහස් කරන බවත් ඔහු සඳහන් කළේය.