(සුජිත් හේවාජුලිගේ )

දිවයින පුරා පළාත් පාලන ආයතන 341න් 340ක නිල කාලය අද (19) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වෙයි.

මේ අනුව මහ නගර සභා 29 හි බලය නාගරික කොමසාරිස්වරුන්ටද නගර සභා 36හි සහ ප්‍රාදේශීය සභා 275 හි බලය එම සභාවල ලේකම්වරුන් යටතටද ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට පත් කෙරිණ.

කෙසේ වෙතත් ප්‍රමාදවී පිහිටවනු ලැබූ ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ නිල කාලය පමණක් තවදුරටත් පවතිනු ඇත.

පළාත් පාලන ආයතන 2018 වසරේ මාර්තු 29 වැනිදා සිට වසර හතරක කාලයක් ක්‍රියාත්මක වුවද පසුගිය වසරේ පැවති අයහපත් තත්වය හේතුවෙන් වසරක කාලයක් එහි නිල කාලය දීර්ඝ කරනු ලැබීය.

මේ අනුව පළාත් පාලන ආයතන නීතියට අනුව ඊයේ දිනට පෙර ඡන්ද විමසීමක් පවත්වා නව සභිකයින් තෝරා පත් කර ගත යුතුව තිබිණ. එහෙත් ඡන්ද විමසීම ඒ දිනයට පෙර පැවැත්වීමට නොහැකිවීම හේතුවෙන් පළාත් පාලන ආයතනවල බලය ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට මෙසේ අවසන්විය.

මේ අතර සියලුම රජයේ දේපළ නැවත බාරදෙන ලෙස නිල කාලය අවසන් වූ සියලුම පළාත් පාලන ආයතනවල ප්‍රධානීන්ට රජය ඊයේ නිල වශයෙන් දැනුම්දී ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පැවසුවේ පළාත් පාලන ආයතන නියෝජිතයන්ගෙන් සමාජයට ලොකු සේවයක් සිදු වූ බවයි.

එම සේවය නිලධාරීන්ගෙන් ලබා ගත හැකි වෙතැයි විශ්වාස නොකරන නමුත් ඔවුන්ගෙන්ද උපරිම වශයෙන් සේවාවක් ලබාගැනීමට බලාපොරොත්තු වන බවද ඔහු සඳහන් කළේය.