(විමුක්ති එස් රුද්‍රිගු)

පාකිස්තානයේ ඉස්ලාමාබාද් අගනුවර පිහිටි විශාලතම රාජ්‍ය රෝහල වන 'පාකිස්තාන වෛද්‍ය විද්‍යා ආයතනයේ' (පී.අයි.එම්.එස්) මාතෘ වාට්ටුවේ දැඩි සත්කාර ඒකකයේ හටගත් දරුණු ගිනිගැනීමකින් අලුත උපන් බිළිඳුන් අවම වශයෙන් 14 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.

ගින්න හටගත් අවස්ථාවේ දැඩි සත්කාර ඒකකයේ අලුත උපන් බිළිඳුන් 15 ක් ප්‍රතිකාර ගනිමින් සිට ඇති බවත් එක් බිළිඳෙකු බේරා ගැනීමට වෛද්‍යවරයකුට හැකියාව ලැබී ඇති බවත් එම මාධ්‍ය වාර්තාවල සඳහන් විණි.

ගින්න පෙරේදා(26) අලුයම සිදුව ඇති බවත් දැඩි සත්කාර ඒකකයේ අලුත උපන් බිළිඳුන් සිටි කාමරයේ සවි කර තිබූ වායුසමීකරණ යන්ත්‍රයක ඇති වූ දෝෂයක් හේතුවෙන් එය පිපිරී යාමෙන් මෙම ගින්න හටගෙන ඇති බවට මූලික විමර්ශනවලින් අනවරණය වී ඇති බවත් පාකිස්තාන මාධ්‍ය වාර්තා කළේය.

ඊට පෙර දින සිය දරුවා ප්‍රසුත කළ කාන්තාවක් පහළ තට්ටුවට දිවගොස් ජනේලයෙන් පැන දිවි බේරාගෙන ඇති බවද එහි දැක්වේ.

දැඩි සත්කාර ඒකකයේ සිටි බිළිඳුන් සියල්ල ශ්වසන ආධාරක මත සිට ඇති බවත් එහි තිබූ ඔක්සිජන් ටැංකි ගින්නෙන් පුපුරා යාම හේතුවෙන් එම කාමරය සම්පූර්ණයෙන්ම ගින්නට හසුවී ඇති බවත් එරට මාධ්‍ය සඳහන් කළේය.