(සුමිත් පොතුපිටිය සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

ත්‍රීරෝද රථ රියදුරකුගෙන් පුද්ගලයකුගෙන් රුපියල් පන්දහසක මුදලක් ලබාගත් කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂක ජේෂ්ඨ පොලිස් අධිකාරී නුවන් අසංකා මහතා පැවසීය.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වාද්දුව පොලිසියේ රථවාහන අංශයේ කොස්තාපල්වරයකු බව අධ්‍යක්ෂවරයා කීය.

රියදුරු බලපත්‍රයක් නොමැතිව ත්‍රීරෝද රථයක් පැද වූ පුද්ගලයකුට නීතිය ක්‍රියාත්මක නොකිරීම සඳහා රුපියල් 10,000 ක අල්ලස් මුදලක් ඉල්ලා එම අවස්ථාවේදී එම පුද්ගලයා සතුව තිබූ රුපියල් රුපියල් 3000ක මුදලක් ලබාගෙන ඉතිරි මුදල් පසුව  දෙන ලෙස දන්වා ඔහුගේ ආදායම් බලපත්‍රය සහ රක්ෂණ සහතිකය සැකකාර කොස්තාපල්වරයා ඇපයට තබා ගෙන ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

එම පුද්ගලයා අද පෙරවරුවේ වාද්දුව පොලිසියට ගොස් සැකකාර කොස්තාපල්වරයා හමුවී ලබාදීමට නියමිත රුපියල් 7000ක මුදලින් 2000 ක් අඩුකරගෙන ඉතිරි මුදල රුපියල් 5000 පසුව ලබා දෙන බවට පොරොන්දු වී පැමිණ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට කරන ලද පැමිණිල්ලක් අනුව සැකකාර කොස්තාපල්වරයා එකී මුදල ත්‍රීරෝද රථ රියදුරු ගෙන් ලබා ගනිද්දී අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

සැකකරු පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.