(විමුක්ති එස් රුද්‍රිගූ)

නේපාලයේ ගොර්කා දිස්ත්‍රික්කයේ සිදුවූ නායයෑමක් හේතුවෙන් ගංගාවක් අවහිර වී ඇති වූ හදිසි ගංවතුර තත්ත්වයකින් පුද්ගලයන් පස්දෙනකු අතුරුදන් වී නිවාස සහ පාලම් රැසක් විනාශ වී ඇතැයි රොයිටර් පුවත් සේවය අද වාර්තා කළේය.

අතුරුදන් වූවන් අතර කාන්තාවන් දෙදෙනකු සහ පිරිමින් තිදෙනකු සිටින බව නේපාලයේ ජාතික ආපදා කළමනාකරණ බලධාරීන් ප්‍රකාශ කර තිබේ.

ගංවතුරට කොටුවී සිටි විදේශිකයකු ඇතුළු පුද්ගලයන් 49 දෙනකු බේරාගැනීමට එරට හමුදාව සමත්ව ඇති අතර එම විදේශිකයාගේ ජාතිකත්වය මෙතෙක් අනාවරණය කර නොමැත.

කත්මණ්ඩු අගනුවරට කිලෝමීටර් 100ක් පමණ බටහිරින් පිහිටි ගොර්කා දිස්ත්‍රික්කයේ චුම්නුබ්‍රි ගම්මානයේ සිදුවූ නායයෑමකින් බුධි ගණ්ඩකි ගංගාව අවහිර වීම මෙම ගංවතුර තත්ත්වයට හේතු වී ඇත.

ගංවතුර හේතුවෙන් නිවාස 12ක් පමණ සහ එල්ලෙන පාලම් දෙකක් ගසාගෙන ගොස් ඇති අතර ජල විදුලි ව්‍යාපෘතියක ඉදිකිරීම් කඳවුරකටද හානි සිදුවී තිබේ.

එම ව්‍යාපෘතියට අයත් ඉදිකිරීම් උපකරණ කිහිපයක්ද ගංවතුරට ගසාගෙන ගොස් ඇති බව එරට ජාතික ආපදා අවදානම් අවම කිරීමේ සහ කළමනාකරණ අධිකාරිය සඳහන් කළේය.

තවද ගොර්කා සහ ධාඩිං දිස්ත්‍රික්ක සම්බන්ධ කරන ප්‍රධාන මාර්ගයක පාලමක්ද ගංවතුරට ගසාගෙන ගොස් තිබේ.

මඩ සහිත ජලය විශාල ප්‍රමාණයක් ගංගාව ඔස්සේ පහළ ප්‍රදේශවලට ගලායමින් පවතින අතර ජල මට්ටම තවදුරටත් ඉහළ යමින් පවතින බව ආපදා කළමනාකරණ බලධාරීහු  ප්‍රකාශ කළහ.

මේ හේතුවෙන් ගංගාව දෙපස සහ පහළ ප්‍රදේශවල පදිංචිකරුවන් වහාම ආරක්ෂිත ස්ථාන වෙත ඉවත් වන ලෙස එරට බලධාරීන් දැනුම් දී තිබිණි.

ඒ සමග දිස්ත්‍රික්ක පහක ගංගා ආශ්‍රිතව ජීවත් වන ජනතාවටද ගංවතුර අවදානම පිළිබඳ අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට එරට බලධාරිහු කටයුතු කළහ.