(රෝෂන් තුෂාර)

ශ‍්‍රී ලංකන් ගුවන් සමාගමට 2013 වසරේදී ගුවන් බල ඇණියක් මිලදී ගැනීමේ ගනුදෙනුවේ දී යුරෝපීය ගුවන් සමාගමකින් රුපියල් කෝටි දහයක (මිලියන 100* අල්ලසක් ලබා ගත්තේ යැයි කියන ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ මහතාට සහ එම විදේශීය සමාගමෙන් ඇමරිකන් ඩොලර් මිලියන දෙකක අල්ලසක් ලබා ගත්තේ යැයි කියන ශමීන්ද්‍ර රාජපක්ෂ ඇතුළු සිව්දෙනෙකුට එරෙහිව කොළඹ විශේෂ ත‍්‍රි පුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අධි චෝදනා ගොනුකර නඩු පැවරූ බව කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අසංග එස් බෝදරගම මහතා හමුවේ කරුණු දැක්වූ නීතිපතිවරයා අද පැවසීය.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ, හිටපු ඇමති චමල් රාජපක්ෂගේ පුත් ශමීන්ද්‍ර රාජපක්ෂ සහ ගුවන් සමාගමේ හිටපු විධායක නිලධාරී මියගිය කපිල චන්ද්‍රසේනගේ බිරිඳ වන ප‍්‍රියංගා නියෝමාලී විත්තිකරුවන් කරමින් පවරා ඇති මෙම මහාධීකරණ නඩුවේ තෙවැනි විත්තිකරු ලෙස බෘනායි වල ලියාපදිංචි කර ඇති බිස් සොලූෂන් පුද්ගලික සමාගම නම් කර ඇත.

නීතිපතිවරයා වෙනුවෙන් අධිකරණය හමුවේ කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා මහතා කරුණු දක්වමින් කියා සිටියේ මෙම නඩුව මගින් සැකකරුවන්ට එරෙහිව අධි චෝදනා 24ක් ඉදිරිපත් කර ඇති බවය. එම චෝදනා සනාථ කිරීම සඳහා සාක්ෂිකරුවන් 59 දෙනෙකුගේ නම් සහ සාක්ෂි සම්පින්ඩන වාර්තා ඇතුළු ලේඛන රැුසක් මහාධිකරණයට ඉදිරිපත් කර ඇති බවද පැවසීය.

අදාළ නඩුව කොළඹ විශේෂ ත‍්‍රි පුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ විභාග කළ යුතු බවට නීතිපතිවරයා අල්ලස් කොමිසමට ලබා දුන් උපදෙස් පරිදි අල්ලස් කොමසාරිස් ජනරාල්වරයා අගවිනිසුරුවරයාගෙන් කළ ඉල්ලීමට ප‍්‍රතිචාර දක්වමින් අගවිනිසුරුවරයා විසින් ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ විභාග කිරීමට අනුමැතිය ලබා දී ඇති බවද පැවසීය.

එයාර් බස් ගණුදෙනුව සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු විධායක නිලධාරී (මියගිය* කපිල චන්ද්‍රසේන, හිටපු ඇමති චමල් රාජපක්ෂගේ පුත් ශමීන්ද්‍ර රාජපක්ෂ සහ ගුවන් සමාගමේ හිටපු විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනගේ බිරිඳ වන ප‍්‍රියංගා නියෝමාලී සැකකරුවන් ලෙස නම්කර ඇති පැමිණිල්ලේ සිව්වෙනි සැකකරු ලෙස රක්ෂිත බන්ධනාගාරගතව සිටින නාමල් රාජපක්ෂ මහතා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මෙම කරුණු ඉදිරිපත් කළේය.

බෘනායි රටේ ව්‍යාජ සමාගමක් පිහිටුවා ප‍්‍රකට යුරෝපීය සිවිල් ගුවන්යානා සමාගමකින් යූරෝ 1,454,645.54 ක (ඇමරිකන් ඩොලර් මිලියන දෙකක* අල්ලසක් ලබා ගැනීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒකාබද්ධව සිදුකළ විමර්ශනයක් අනුව ගොනු කර තිබූ පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් කෙරිණි. නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා කරුණු දක්වමින් කියා සිටියේ සැකකරුට එරෙහිව මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කර ඇති බැවින් මහේස්ත‍්‍රාත් අධිකරණයට ඇප ලබාදීමේ අධිකරණ බලයක් නොමැති බවය. ඇප ලබාගත යුත්තේ මහාධිකරණයෙන් බැවින් මහාධිකරණ නියෝගයක් ලැබෙන තෙක් සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසද ඉල්ලා සිටියේය.

දෙපාර්ශවය ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත‍්‍රාත්වරයා සැකකරුට අධි චෝදනා ගොනු කොට ඇති බැවින්, ඇප සම්බන්ධයෙන් නියෝගයක් නිකුත් නොකරන බවත්, මහාධිකරණයට ඉදිරිපත් කරන තෙක් බන්ධනාගාර භාරයේ තබා ගන්නා ලෙසට බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කරන බවත් දන්වා සිටියේය.

මහේස්ත‍්‍රාත්වරයා මෙසේද පැවසීය.

මේ අවස්ථාවේදී මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනුකර ඇති බැවින්, ඇප සම්බන්ධයෙන් නියෝගයක් නිකුත් කිරීමට මෙම අධිකරණයට බලයක් නෑ. කෙසේ වෙතත් මේ වන විට නියෝගයක් ලබාදිය යුත්තේ මහාධිකරණයෙන් බැවින් සැකකරු හෙට (28* දින මහාධිකරණය හමුවට ඉදිරිපත් කර ඒ පිළිබඳ වාර්තාවක් ලබන 30 වැනි දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කරනවා. යැයිද මහේස්ත‍්‍රාත්වරයා සිය නියෝගය ප‍්‍රකාශයට පත් කරමින් සඳහන් කළේය.

බන්ධනාගාර නිලධාරීන් විසින් සැකකාර නාමල් රාජපක්ෂ මහතා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා මෙසේද පැවසීය. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර වාර්තාවක් අද දින අධිකරණයට ඉදිරිපත් කරනවා. සියලූ විමර්ශන අවසන් කර අල්ලස් කොමිසම මගින් උධෘත නීතිපතිට එවූ පසුව නීතිපතිවරයා විසින් අල්ලස් කොමසාරිස් ජනරාල්වරයාට උපදෙස් ලබා දුන්නා. මේ නඩුව ත‍්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාග කළ යුතු බවට. එම උපදේශය පිළිගත් අල්ලස් කොමිසම 2018 අංක 9 දරණ අධිකරණ සංවිධාන පනත ප‍්‍රකාරව ත‍්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් පත් කරන ලෙස අගවිනිසුරුවරයාගෙන් ඉල්ලා සිටියා. එම ඉල්ලීමට ප‍්‍රතිචාර දැක්වූ අගවිනිසුරුවරයා ඊට අනුමැතිය ලබා දී තිබෙනවා. ඒ අනුව සැකකරුවන්ට එරෙහිව කොළඹ මහාධිකරණයේ අධි චෝදනා මත නඩුවක් ගොනු වෙනවා. එහෙම අධි චෝදනා නඩුවක් ගොනුවී තිබෙන අවස්ථාවක අධිකරණය ක‍්‍රියා කළ යුත්තේ අධිකරණ නඩු විධාන සංග‍්‍රහයේ 195 වගන්තිය ප‍්‍රකාරවයි. දැන් මහේස්ත‍්‍රාත් අධිකරණයේ අධිකරණ බලය නැතිවෙනවා. මේ අනුව සැකකරු බන්ධනාගාර ගත කිරීම මිස වෙන විකල්පයක් මේ මහේස්ත‍්‍රාත් අධිකරණයට නැහැ. එම නිසා සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ඉල්ලා සිටිනවා.

සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධීපති නීතිඥ ශ‍්‍රවේන්ද්‍ර ප‍්‍රනාන්දු මහතා කරුණු දක්වමින් මෙසේ පැවසීය.

අධිකරණ බලය අහිමි වෙනවා කියන එම තර්කය මා පිළිගන්නවා දැන් අධිකරණ බලය තියෙන්නෙ මහාධිකරණයට, නඩුව අවසන් උනාම සියළුම බලයන් අහිමි වෙනවා එමනිසා බන්ධනාගාර ගතකිරිමේ බලයත් අහිමි වෙනවා. එමනිසා ඇප ලබාදෙන ලෙස ඉල්ලා සිටිනවා. කරුණූ සලකා බැලූ මහේස්ත‍්‍රාත්වරයා සැකකරුට එරෙහිව අධි චෝදනා ගොණු කර ඇති බැවින් මහාධිකරණයට ඉදිරිපත් කරන තෙක් බන්ධනාගාර අධිකාරිවරයා යටතේ රඳවා තබා ගන්නා ලෙසට බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළේය.

ඒ අනුව වහාම හෙට දිනයේදී සැකකරු මහාධිකරණයට ඉදිරිපත් කර ලබන 30 වන දින වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග කළේය.