( පැතුම් දර්ශන)
 
නිවෙස් හිමියා පිටුපස පන්නා ආ අලි පැටවෙකු නිවසේ පිටුපස දොරෙන් ඇතුල්වී විනාඩි පහළොවක් පමණ නිවස ඇතුළත දඟළමින් සිට ඉදිරිපස දොරෙන් පිටව ගිය සිදුවීමක් අද(19) උදෑසන හොරොව්පොතාන මරදන්කඩවල ප්‍රදේශයෙන් වාර්තා විය.
 
අඩි පහක් පමණ උස බව පවසන මෙම අලි පැටවා අසනීප තත්වයක් නිසා හෝ වෙන යම් හේතුවක් නිසා රංචුවෙන් වෙන්වී මෙලෙස තනි වී ඇති බව ප්‍රදේශවාසීහු පවසති.
 
සිදුවීම වූ නිවසේ සිටින කාන්තාව වන දමයන්ති ප්‍රේමතිලක මහත්මිය තමන් මුහුණ දුන් අත්දැකීම පිළිබඳ මෙසේ කීය.
 
"උදේ 6:00 ට විතර මහත්තයා මූණ හෝදන්න යනකොට කෙසෙල් ගස් මැද්දො කළුපාට ගුලියක් වගේ දැකලා තියෙනවා.  මහත්තයා ඌරෙක් කියලා රැවටිලා එබිලා බලනකොටම මහත්තයා පස්සේ අලි පැටවා පන්නාගෙන ආවා.
 
අලිපැටවා අඩි පහක් විතර උසයි.මහත්තයත් දුවගෙන පිටිපස්සේ දොරෙන් ඇතුළට එනකොට අලි පැටවත් ගෙට ඇඅතුළු වුණා. මම දුවයි පුතයි අරගෙන එළියට පැන්නා. අලියා සාලය මැදට වෙලා ඇඳේ තිබුන නෙට් එක කඩලා පුටු මේස පෙරළා දැම්මා. අපි එළියට පැනල කෑ ගැහුවා. අලියා ගේ ඇතුළෙ දඟලනවා.
 
විනාඩි 15 ක් විතර ඇතුලේ හිටියා. බැරිම තැන මහත්තයා රතිඤ්ඥා දැම්මා. ඊට පස්සේ අලියා ඉස්සරහා දොරෙන් එළියට ආවා.පිටුපස දොරෙන් ආපු අලියා ඉස්සරහා දොරෙන් එළියට ඇවිල්ලා කැලේ පැත්තට දුවගෙන ගියා."

 නිවසේ ඇ පුටු මේස පෙරලා දමා ඇති අයුරු