(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

යාපනය කොටුවේ සිට ගාල්ල කොටුව දක්වා දින තුනක් වැනි කෙටි කාලයකින්  නොනැවතී එක දිගට පාගමනින් ගොස් ලෝක වාර්තාවක් පිහිටු වීමට බගවන්තලාවේ නිවුන් සොහොයුරන් දෙදෙනෙක් සූදානම් වෙති.

ආර්. ඒ විග්නේශ්වරන් සහ ආර්.ඒ දයාබරන් යන නිවුන් සොහොයුරන් දෙදෙනා අද අලුයම 4.00 යාපනය කොටුව ඉදිරිපිටින් ගමන් ආරම්භ කරනු ලැබූහ.

මෙම නිවුන් සොහොයුරන් බගවන්තලාව, කොටියාගල ප්‍රදේශයේ පදිංචි අය වෙති. දින තුනක් අඛණ්ඩව ගමන් කිරීමෙන් මෙම වාර්තාව පිහිටුවීමට මෙම සොහොයුරෝ සරසෙති.

යාපනය, කොටුවේ සිට ගාල්ල, කොටුව දක්වා  නොනැවතී පා ගමනින් ගමන් කර ලෝක වාර්තාවක් පිහිටුවීම තම අරමුණ බව නිවුන් සොහොයුරෝ පැවසූහ.

යාපනය ඒ-9 මාර්ගය ඔස්සේ අනුරාධපුරය දක්වා පැමිණ අනුරාධපුරයේ සිට පුත්තලම දක්වා ද පුත්තලමේ සිට මීගමුව දක්වා පැමිණ මීගමුවේ සිට කොළඹ දක්වා ද ඊට පසුව ගාල්ල දක්වා ද ගමන් කිරීමට නියමිතව ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රි මනෝ ගනේෂන් මහතාගේ ඉල්ලීමකට අනුව මේ සඳහා ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව පූර්ණ අනුග්‍රහය දක්වා තිබේ.