(සුජිත් හේවාජුලිගේ )

නවාතැන් පිළිබඳ ගැටලු හේතුවෙන් වෛද්‍යවරුන් පනහකට වැඩි පිරිසක් රාත්‍රී කාලයේ සිය වාහනවල නිදාගන්නා බවට තොරතුරු වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අංශ ආරංචි මාර්ග සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා පැවසුවේ ඇතැම් වෛද්‍යවරුන් එසේ කටයුතු කරන බවට තමාටද තොරතුරු වාර්තා වී ඇති බවයි.

එය කනගාටුදායක තත්වයක් බවද ඔහු සඳහන් කළේය.

වෛද්‍යවරුන්ගේ නේවාසිකාගාර ගැටලු ප්‍රවාහන ගැටලු විසඳීමට රජය ප්‍රමුඛත්වයදී වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරගෙන යන බවත් පහසුකම් වැඩි කිරීමට අදාළව ලැබී ඇති යෝජනා කිහිපයක්ද මේ දිනවල අධ්‍යයනය කරගෙන යන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා කීවේය.

සියලු වෛද්‍යවරුන්ට මෙරට සේවය කිරීම සඳහා සුදුසු පරිසර තත්වයක් නිර්මාණය කිරීම රජයේ අපේක්ෂාව බවද හංසක විජේමුණි මහතා වැඩිදුරටත් කීය.

මේ අතර පසුගිය අවුරුදු පහේදී විශේෂඥ වෛද්‍යවරුන් 3791ක් මෙරටින් පිටව ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

මෙයට අමතරව වෛද්‍යවරුන් 1491ක් වැටුප් රහිත නිවාඩු පිට සිටින බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.