(යොහාන් භාසුර)

ශ්‍රී ලංකා රෝහල් සේවා මණ්ඩලයේ අධ්‍යක්ෂ, රජවැල්ලේ සුභූති හිමියන්ගේ මූලිකත්වයෙන් සිදු කෙරෙන සමාජ මෙහෙවර ව්‍යාපෘතිය වෙත එංගලන්තයේ සිල්වියා ලංකා පදනම සහ එන්එච්එස් ට්‍රස්ට් ආයතනය එක්ව පරිත්‍යාග කළ රෝහල් උපකරණ තොගයක් වැලිසර ශ්‍රී ලංකා නාවික හමුදා මහ රෝහලට ප්‍රදානය කළේය.

ශ්‍රී ලංකා රෝහල් සේවා මණ්ඩලයේ අධ්‍යක්ෂ, රජවැල්ලේ සුභූති හිමියන්ගේ මූලිකත්වයෙන් සිදු කෙරෙන සමාජ මෙහෙවර ව්‍යාපෘතිය වෙත දෙස් විදෙස් ධානපතීන්ගේ අනුග්‍රහයෙන් පරිත්‍යාග කරනු ලබන රෝහල් උපකරණ, මෙරට ‍රෝහල් උපකරණ අත්‍යවශ්‍යව පවතින රෝහල් වෙත බෙදාහැරීම, රෝගීන් රැසකට ප්‍රතිලාභ අත්වන මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පහසුකම් පුළුල් වීම සඳහා විශාල දායකත්වයක් සපයයි.

ඒ අනුව, මෙම සමාජ සත්කාරක ව්‍යාපෘතිය යටතේ නාවික හමුදාව වෙත ප්‍රදානය කෙරුණු රෝහල් උපකරණ මඟින්, වැලිසර නාවික මහ රෝහල ඇතුළු අනෙකුත් නාවික විධානයන්ට අයත් රෝහල් තුළ පුළුල් වන පහසුකම් තුළින්, එම රෝහල් වෙතින් ප්‍රතිකාර ගනු ලබන නාවික හමුදා පුද්ගලයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් හට මෙන්ම, විශ්‍රාමික නාවික හමුදා පුද්ගලයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් හටද වඩාත් උසස් වෛද්‍ය සේවාවන් ලබා දීමට නාවික හමුදාවට හැකියාව ලැබෙනු ඇත.

මෙම අවස්ථාව සඳහා නාවික හමුදා අධ්‍යක්‍ෂ වෛද්‍ය සේවා කොමදෝරු ඒඑච් මුල්ලේගම ඇතුළු බටහිර නාවික විධානයේ සහ වැලිසර නාවික පරිශ්‍රයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් ඇතුළු නාවික පුද්ගලයන් පිරිසක් සහභාගී වී සිටියහ.