(ඩයනා උදයංගනී)

නිව් ඩයමන්ඩ් බොරතෙල් ප්‍රවාහන නෞකාවේ හටගත් දෙවැනි ගින්න ද  අද (9) අලුයම් කාලයේදී සම්පූර්ණයෙන් නිවා දැමූ  බව නාවික හමුදාව පවසයි.

මේ වන විට නෞකාවෙන් දුම් හෝ ගිනි දැල් නිකුත් නොවන බව නාවික හමුදාව සඳහන් කරයි.

පවතින තද සුළං තත්ත්වය හමුවේත් එය ශ්‍රී ලංකාවට මුහුදු සැතපුම් 37 ක් දුර ගැඹුරු මුහුද දක්වා මේ වන විට ගෙන ගොස් ඇතැයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා පවසයි.

ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව, ඉන්දීය නාවික හමුදාව, ඉන්දීය වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව ඇතුළු අනෙකුත් පාර්ශවකරුවන්ට අයත් නෞකා, ගුවන් යානා සහ ටග් යාත්‍රා තවදුරටත් මෙම මෙහෙයුමේ අඛණ්ඩව නිරතව සිටින බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා කියාසිටී.

ආපදාවට පත් නෞකාවට ගොස් එහි තත්ත්වය නිරීක්ෂණය කිරීමට නාවික හමුදා කණඩායම් මේ වන විට උත්සාහ කරමින් සිටින බව ද ඔහු සඳහන් කළේය.

(ඡායාරූපය - නාවික හමුදා මාධ්‍ය අංශය)