
(සුජිත් හේවාජුලිගේ)
උදාරතම ජයග්‍රහණ අත්කර ගත්තේ සංවර්ධනය ශිෂ්ටාචාරය සමඟ සුසංයෝගයෙන් ක්‍රියා කළ විටදී පමණක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නාමල් රාජපක්ෂ මහතා පැවසීය
ඔහු මේ බව ප්‍රකාශ කළේ හොංකොංහි පැවති 2026 ආසියානු සංස්කෘතික පොදු සුභසාධන සංසදය අමතමිනි.
නාමල් රාජපක්ෂ මහතා මෙසේද පැවසීය.
පසුගිය 2026 ආසියානු සංස්කෘතික පොදු සුභසාධන සංසදය (Asian Cultural Public Welfare Forum) සඳහා අද දින ඔබ සමඟ එක්වීමට ලැබීම මා ලද වරප්‍රසාදයකි. වර්ධනය හෝ තාක්ෂණය ගැන සාකච්ඡා කිරීමට පමණක් නොව, සාරධර්ම මගින් මෙහෙයවනු ලබන සමාජයන් නිර්මාණය කිරීම සඳහා ශිෂ්ටාචාරයන්ට එක්ව ක්‍රියා කළ හැක්කේ කෙසේදැයි විමසා බැලීමට අපව හොංකොං වෙත කැඳවීම සම්බන්ධයෙන් මම සංවිධායකයින්ට ස්තූතිවන්ත වෙමි.
අද වන විට ආසියාව තීරණාත්මක මොහොතක පසුවේ.
ගෝලීය සමබරතාවය පෙරදිග දෙසට ගමන් කරමින් පවතී.
2030 වන විට, අපේ මහාද්වීපය සමස්ත ගෝලීය දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනයෙන් 60%කට පමණ දායක වෙමින්, ගෝලීය ආර්ථිකයේ ප්‍රබලතම ගාමක බලවේගය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
නමුත් අප නැගී එන විට, සරල ප්‍රශ්නයක් පැන නගී: එනම් අප කෙබඳු ආකාරයේ ශිෂ්ටාචාරයක් බවට පත් වනු ඇතිද? යන්නයි නවීකරණය අපගේ අනන්‍යතාවය දුබල කරයිද? තාක්ෂණය මනුෂ්‍යත්වයට සේවය කරයිද නැතිනම් එය අභිභවා යයිද? ආර්ථික අභිලාෂයන් සොබාදහම ආරක්ෂා කරයිද නැතිනම් එය විනාශ කරයිද? මේවා ශිෂ්ටාචාරාත්මක ප්‍රශ්න වේ.
මම පැමිණෙන්නේ ශ්‍රී ලංකාවෙන්.
ඉන්දියන් සාගරයේ මුතු ඇටය ලෙස හැඳින්වෙන දේශයෙනි.
ඒ අපගේ සුන්දරත්වය හෝ පිහිටීම නිසාම පමණක් නොව, සියවස් විසිපහක ලිඛිත ඉතිහාසයක් සහිත ඇති ප්‍රෞඪ ශිෂ්ටාචාරයක හදවත ලෙස අප පෙනී සිටින බැවිනි. අපගේ උදාරතම ජයග්‍රහණ අත්කර ගත්තේ සංවර්ධනය ශිෂ්ටාචාරය සමඟ සුසංයෝගයෙන් ක්‍රියා කළ විටදීය.
වසර දෙදහසකට පෙර අපේ රජවරු දැවැන්ත වාරි පද්ධති සහ වැව් ඉදි කළහ.
ඒවා ගොඩනැගුවේ කීර්තිය තකා නොවේ.
ඒවා ගොඩනැගුවේ මහජන සුභසාධනය සඳහා ය.
ජල සුරක්ෂිතතාව, ආහාර සුරක්ෂිතතාව සහ ස්ථාවරත්වය සහතික කිරීම සඳහා ය.
නූතන ලෝකයට ඇතැම් විට අමතක වන සත්‍යයක් අපේ මුතුන් මිත්තන් තේරුම් ගෙන සිටියහ: එනම් 'තිරසාරත්වය' යනු අපගේ ශිෂ්ටාචාරාත්මක උරුමය බවයි. ශ්‍රී ලංකාවේ අප මෙය "වැවයි, දාගැබයි, ගමයි, පන්සලයි" යන සිව්වැදෑරුම් ප්‍රඥාව ලෙස හඳුන්වමු. වැව මගින් පොදු සම්පත් නියෝජනය විය. ගම මගින් පොදු ජන ජීවිතය නියෝජනය විය. දාගැබ මගින් පොදු සාරධර්ම නියෝජනය විය. පන්සල මගින් පොදු දැනුම නියෝජනය විය.
මේවා වෙන් වෙන් වූ ආයතන නොවීය. ඒවා එකම පද්ධතියක් විය. යටිතල පහසුකම් තුළින් සබැඳියාව ගොඩනැඟුණි. සබැඳියාව තුළින් නොසැලී අභියෝගවලට මුහුණ දීමේ හැකියාව බිහිවුණි.
අපගේ මඟ පෙන්වන තාරකාව (North Star) වන්නේ මෙයයි.
මගේ පියා වන මහින්ද රාජපක්ෂ වැනි නායකයෝ මෙම පෞරාණික සමබරතාවය නූතන ප්‍රතිපත්තිවලට පරිවර්තනය කළහ. ඔහු අතීතය අමතක නොකර අනාගතය දෙස බැලිය යුතු බව වටහා ගත් දූරදර්ශී නායකයෙකි.
අපව ගෝලීය ආර්ථිකයට සම්බන්ධ කළ වරායවල්, මහාමාර්ග සහ නූතන නගර ඉදි කරමින් ශ්‍රී ලංකාවේ ක්ෂිතිජය වෙනස් කළ නායකයා ඔහුය නමුත් ඔහු අහස සිඹින ගොඩනැගිලි නිර්මාණය කරන අතරතුර පවා, මහපොළොවේ යථාර්ථය කෙරෙහි අවධානය යොමු කිරීම කිසිවිටෙකත් අත් නොහැරියේය.
ග්‍රාමීය සවිබල ගැන්වීම සහ සමාජ සුභසාධනය ජාතියේ තනි, ඒකාබද්ධ මෙහෙයුමක් වන ආකෘතියක් ඔහු ප්‍රවර්ධනය කළේය. අනන්‍යතාවය පාවා නොදී නවීකරණය සිදු කළ හැකි බව ඔහු ඔප්පු කළේය.
අද ආසියාව මුහුණ දෙන්නේ වෙනස්ම ලෝකයකටය.
දේශගුණික විපර්යාස සහ ඩිජිටල් අසමානතාවය එය මුහුණ දෙන අභියෝගවලින් සමහරකි.
එමෙන්ම මිලියන සංඛ්‍යාත තරුණ තරුණියන් අවස්ථා ඉල්ලා සිටිති.
අපට නවීකරණය ප්‍රතික්ෂේප කළ නොහැක.
නමුත් අප සමබරතාවයෙන් යුතුව සංවර්ධනය හඹා යා යුතුය.
ධම්මපදයේ මෙසේ සඳහන් වේ: “අප්පමාදෝ අමතපදං, පමාදෝ මච්චුනෝ පදං” එහි සරලම අර්ථයෙන් ගත් කල, මෙයින් අදහස් කරන්නේ: අවධානයෙන් යුතුව කටයුතු කිරීම චිරස්ථායී වීමේ මාවත වන අතර නොසැලකිලිමත්කම අසාර්ථක වීමේ මාවත බවයි.
නායකත්වයේදී මෙයින් අදහස් කරන්නේ අප පූර්ණ අවබෝධයකින් යුතුව ක්‍රියා කළ යුතු බවයි. ප්‍රතිස්ථාපනය කළ නොහැකි දේ ආරක්ෂා කිරීමට අපට ධෛර්යය තිබිය යුතුය. ශ්‍රී ලංකාවේ ශ්‍රී පාදස්ථානය එවැනි එක් ස්ථානයකි. ශතවර්ෂ ගණනාවක් තිස්සේ බෞද්ධ, හින්දු, කිතුනු සහ මුස්ලිම් බැතිමතුන් ඇදහිල්ලේ ප්‍රකාශනයක් ලෙස එම කන්ද තරණය කරති. එය පූජනීය ස්ථානයක් මෙන්ම සංවේදී පරිසර පද්ධතියකි.
නායකයින් ලෙස අප ඇසිය යුතු ප්‍රශ්නය නම්: අපගේ ආත්මය විනාශ කර නොගෙන අප සංවර්ධනය වන්නේ කෙසේද? යන්නයි. සෑම වනාන්තරයක්ම යටිතල පහසුකම් බවට පත් නොවිය යුතුය. පහසුව තකා සෑම පූජනීය ස්ථානයක්ම වෙනස් නොකළ යුතුය.
අප වෙනස වැළඳ ගත යුතුය.
නමුත් එසේ කළ යුත්තේ එම වෙනස අපගේ සාරධර්ම සහ සම්ප්‍රදායන් සමඟ අනුකූල වන තාක් දුරට පමණි.
මහජන සුභසාධන නවෝත්පාදනය (Public Welfare Innovation) අත්‍යවශ්‍ය වන්නේ එබැවිනි. තාක්‍ෂණය දැන් උපායමාර්ගික ක්ෂේත්‍රයක් බවට පත්ව ඇත. කෘතිම බුද්ධිය, ටෙලිමෙඩිසින් (Telemedicine), පුනර්ජනනීය බලශක්තිය ආදිය ඉන් කිහිපයකි. ගමක දරුවෙකු අන්තර්ජාලය හරහා අධ්‍යාපනය ලබන විට, එය යහපත උදෙසා වන තාක්‍ෂණයයි.
ඩිජිටල් සෞඛ්‍ය සේවාව දුරස්ථ ප්‍රජාවන් වෙත ළඟා වන විට, එය සුභසාධන නවෝත්පාදනයයි.
නමුත් සදාචාරයෙන් තොර තාක්‍ෂණය අසමානතාවය සහ බෙදීම් ඇති කරයි.
ආසියානු ශිෂ්ටාචාරයන් නූතන ලෝකයට දායක විය යුත්තේ මෙතැනදීය.
අප උගන්වන්නේ සමබරතාවයයි.
අභිලාෂය සහ වගකීම අතර සමබරතාවයයි.
නවෝත්පාදනය සහ මනුෂ්‍යත්වය අතර සමබරතාවයයි.
අද පවතින විශාලතම අවදානමක් වන්නේ සමාජයන් භෞතිකව දියුණු වුවද චිත්තවේගීයව හුදකලා වීමයි. ඩිජිටල් ලෙස සම්බන්ධ වුවද, සමාජීය වශයෙන් හුදකලා වීමයි. මෙයට පිළියම සංස්කෘතියයි. සංස්කෘතිය සාරධර්ම ආරක්ෂා කරයි. වේගයෙන් වෙනස් වන ලෝකයක එය අපේ තරුණ පරපුරට අනන්‍යතාවයක් ලබා දෙයි.
මගේ පරම්පරාවට අතිමහත් පීඩනයකට උරුමකම් කීමට සිදුවනු ඇත. අපට කෘතිම බුද්ධිය, දේශගුණික විපර්යාස සහ භූ දේශපාලනය කළමනාකරණය කිරීමට සිදුවනු ඇත.
එබැවින්, ආසියාවේ තරුණ නායකත්වය මැතිවරණ ගැන පමණක් නොව, ඉදිරි පරම්පරා ගණනාවක් ගැන සිතිය යුතුය.
නවීකරණය විසින් උරුමයන් විනාශ නොකරන, වර්ධනයට පොදු සුභසාධනය ඇතුළත් වන සහ සහයෝගීතාවය තුළින් ශිෂ්ටාචාරයන් එකිනෙකට සම්බන්ධ වන ආසියානු සංවර්ධන ආකෘතියක් නිර්මාණය කිරීමට අපට අවස්ථාව තිබේ.
ශතවර්ෂ ගණනාවක් තිස්සේ වෙළඳ මාර්ග සහ ආධ්‍යාත්මික සම්ප්‍රදායන් ඉන්දියාව, ශ්‍රී ලංකාව, චීනය සහ මැද පෙරදිග සම්බන්ධ කළේය.
අද එම ජීවගුණය නැවත පැමිණිය යුතුය.
අප මුහුණ දෙන අභියෝග, එනම් දේශගුණික විපර්යාස සහ ආර්ථික අස්ථාවරත්වය, දේශසීමා විසින් සීමා නොකරයි.
ආසියාව ශිෂ්ටාචාරාත්මකව සහයෝගයෙන් කටයුතු කළ යුතුය. ආසියාව හුදෙක් වර්ධනය වනවාද නැතහොත් සැබවින්ම නායකත්වය දෙනවාද යන්න තීරණය වන්නේ මෙලෙසිනි.
අවසාන වශයෙන්, ශිෂ්ටාචාරයක ශක්තිය මනිනු ලබන්නේ හමුදා බලයෙන් නොවේ. එය මනිනු ලබන්නේ එහි ජනතාවගේ ජීවන තත්ත්වයෙනි. අසරණ ජනතාවට අප ලබා දෙන ගෞරවයෙනි. එමෙන්ම අපගේ දරුවන් වෙනුවෙන් අප ඉතිරි කර යන ලෝකයෙනි. අප ඉදිරියේ ඇති වගකීම එයයි.
ආර්ථික නායකත්වයට වඩා වැඩි දෙයක් කිරීමට ආසියාවට හැකියාව ඇත. ඉදිරි ශතවර්ෂයේ සදාචාරාත්මක, සංස්කෘතික සහ ශිෂ්ටාචාරමය නායකත්වය සඳහා අපි සූදානම්ව සිටිමු.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd