(මනෝප‍්‍රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ)

හෙළි නොකරන ආකාරයකින් රුපියල් මිලියන 30ක මුදලක් උපයා ගත් බවට මුදල් විශූද්ධිකරණ පනත යටතේ චෝදනා ලැබ සිටින පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ මහතා සහ ගවර්ස් කෝපරේෂන් සමාගමේ අධ්‍යක්‍ෂවරු ඇතුළු සිව්දෙනාට එරෙහි නඩුව ලබන වසරේ පෙබරවාරි 16 වැනි දා සිට විභාග කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහ මහතා තීරණය කළේය.

2013 ඔක්තොම්බර් පළමු වැනිදාත් 2014 අගෝස්තු 31 වැනිදාත් අතර කාලය තුළ කොළඹදී පාර්ලිමෙන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ මහතාට අයත් ගවර්ස් කෝපරේට් සර්විසස් සමාගම වෙනත් සමාගමක් සමඟ කළ ගනුදෙනුවකදී අයුතු ලෙස මුදල් උපයාගැනීමට කුමන්ත‍්‍රණය කිරීම, ඒ අනුව රුපියල් මිලියන 30ක මුදලක් උපයාගත් බවට මුදල් විශූද්ධීකරණ පනත යටතේ විත්තිකරුවන්ට එරෙහිව චෝදනා  එකොළහක්  යටතේ නීතීපතිවරයා විසින් නඩු පවරා තිබිණි.

නඩුවේ විත්තිකරුවන් ලෙස නම් කොට සිටින පස් දෙනා අතුරින් ඉන්දික ප‍්‍රභාත් කරුණාජීව මහතා හැර සෙසු විත්තිකරුවන් වන පාර්ලිමෙන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ මහතා, පවිත‍්‍රිකා සුජානි බෝගොල්ලාගම සහ ගුවන් සේවිකාවක් වු නිත්‍යා  සේනානී  සමරනායක සහ ඔරනෙල්ලා ඉරේෂා සිල්වා මහත්මීන් අධිකරණයේ පෙනී සිටියහ.

විත්ති පාර්ශවයට බාරදිය යුතු ලේඛණ බාරදීම සඳහා නඩුව ලබන නොවැම්බර් 29 වැනි දා යළි කැඳවීමට නියම කළ විනිසුරුවරයා අදාළ ඉල්ලීම එදිනට ඉදිරිපත් කරන්නැයිද දැනුම් දුන්නේය.