(අංජුල මහික වීරරත්න)

හදිසි ජලගැලීම් හේතුවෙන් පීඩාවට පත් නේපාල වැසියන්ට සහන සැලසීම සඳහා ඇමෙරිකා ඩොලර් මිලියනයක මූල්‍යාධාරයක් ලබාදීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තීරණය කර තිබේ.

ඊට අමතරව විපතට පත් ජනතාවගේ ප්‍රතිකාර කටයුතු සඳහා ශ්‍රී ලාංකික වෛද්‍ය කණ්ඩායමක් යවන ලෙසද ජනාධිපතිවරයා උපදෙස් දී ඇත.

එමෙන්ම නේපාල ජනතාවගේ ආහාර අවශ්‍යතාවයන් වෙනුවෙන් සහල් තොග අවශ්‍ය නම් ඒවා යැවීමට කටයුතු කරන ලෙසද ජනාධිපතිවරයා දුන් උපදෙස් වල සඳහන්ය.

මේ අතර නේපාලයට බලපෑ හදිසි ගං වතුර තත්ත්වය හමුවේ ගලවා ගැනීමේ සහ මුදා ගැනීමේ මෙහෙයුම් සඳහා නේපාලයට සහාය දීමට ශ්‍රී ලංකාව සූදානමින් සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

මාස 10 කට පෙර මාරාන්තික සුළි කුණාටුවකින් තවමත් ගොඩ එන ජාතියක් ලෙස නේපාල ජනතාව සමඟ ශෝකය බෙදා ගන්නා බවද ජනාධිපතිවරයා කියයි.

ජනාධිපති අනුර දිසානායක මහතා මේ බව සඳහන් කරන්නේ සිය x ගිණුමේ සටහනක් තබමිනි. "නේපාලයේ විනාශකාරී ගංවතුරෙන් පසු සිදු වූ ඛේදජනක ජීවිත හානි පිළිබඳව දැන ගැනීමට ලැබීම ගැන මම අතිශයින් කණගාටු වෙමි.නේපාල ජනතාවට ශෝකය ප්‍රකාශ කිරීමට ශ්‍රී ලාංකික ජනතාව සමඟ එක් වෙමි යනුවෙන්ද ජනාධිපතිවරයා සඳහන් කරයි.

විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා ද නේපාල විදේශ අමාත්‍ය ශිෂීර් ඛානාල් මහතාට අද (27)දුරකථනයෙන් අමතා ශ්‍රී ලාංකික ජනතාවගේ ශෝකය මෙන්ම සහයෝගය නේපාල රජය වෙත පිරිනැමුවේය.