(නිමල් ජයරත්න සහ ඉන්දිකා රාමනායක)

මඩකලපුව තොප්පිගල මාවඩිඕඩේ පුරාවිද්‍යා ප්‍රදේශයක ස්කෑන් යන්ත්‍රයක් යොදා නිදන් වස්තු කැණීම් කරමින් සිටී පොලොන්නරුව වැලිකන්ද රුවන්පිටිය යුද හමුදා කඳවුරේ අණදෙන නිලධාරිවරයා ඇතුළු හමුදා සෙබළුන් තුනක් සහ චීවරධාරියකු, යුද හමුදාවට අයත් ජිප් රථයක් අත්අඩංගුවට ගත් බව කරදියනාරු පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් යුද හමුදා අණදෙන නිලධාරිවරයා වැලිකන්ද රුවන්පිටිය තුන්වන යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ අණදෙන නිළධාරීවරයා ලෙස සේවය කරන අතර අනිත් හමුදා නිලධාරීන් දෙදෙනා එම කඳවුරට අනුයුක්තව සේවය කරන අය බව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගෙන සිටින අනණදෙන නිලධාරිවරයා සහ හමුදා නිලධාරීන් දෙදෙනා සමඟ චීවරධාරියා සහ යුද හමුදා ජීප් රථය පළවෙනිදා එරාවුර් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවද පරීක්ෂණ සිදුකරන කරදියනාරු පොලිසිය කියයි.

සැකකරුවන් ස්කෑන් යන්ත්‍රය යොදා නිදන් සෙවූ ස්ථානය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින්, පුරාවිද්‍යා ස්ථානයක් බවට සලකුණු කරන ලද ස්ථානයක් බව ඒ පිළිබඳ පරීක්ෂණ සිදුකරන කරදියනාරු පොලිසිය සඳහන් කරයි.

අත්අඩංගුවට ගෙන සිටින චීවරධාරියා රත්නපුර ප්‍රදේශ්යේ විහාරස්ථානයක වැඩවාසය කරන හිමිනමක් බවද පොලිසිය කියයි.

වව්නතිව් විශේෂ කාර්ය බළකායට ලද තොරතුරක් අනුව මෙම වැටලීම සිදු කර තිබෙන අතර ඉදිරි විමර්ෂන කටයුතු සඳහා සැකකරුවන් සමග අත්අඩංගුවටගත් ස්කෑන් යන්ත්‍ර සහ යුද හමුදා ජීප් රථය කරදියනාරු පොලිසිය වෙත භාරදී තිබේ,