IMG-LOGO

2025 මැයි මස 12 වන සඳුදා


නිදහස් දිනයේ අදිටන ජාති-ආගම් බේද නැති රටක්

ජාතික නිදහස් දිනය අදය. ඕනෑම රටකට, ජාතියකට නිදහස තරම් ඔදවත් තෙදවත් අභිමානවත් ශ්‍රේෂ්ඨ දිනයක් තවත් තිබිය නොහැක. වසර හාර පන්සියයකට ආසන්න කාලයක් පරාධීනත්වයේ යදමින් වෙළා වහල් භාවයේ ගිල්වා තිබූ රටක ජනතාවකට නිදහසේ අසිරි සිරිය අන් කවර රටක ජනතාවකටත් වඩා හොඳින් දැනේ. ඒ වූ අසිරිමත් නිදහසේ නාමයෙන් මුළු මහත් ජාතියම ඒකාත්මක වන මේ මොහොතේ අපමණ දේශානුරාගයෙන් පණ පෙවුණු හදවතින් ලංකාදීපය ද ඒ මහා ජන ප්‍රවාහය සමග අත්වැල් බැඳ ගනී.

 හැත්තෑතුන්වැනි නිදහස අපට සැමරීමට සිදුව තිබෙන්නේ මුළු ලෝකයටම නිදහස අහිමි වූ ශාපලත් පරිසරයකය. මාරාන්තික කොරෝනා වයිරසයට මුළු ලොවම තම සැහැසි ග්‍රහණයට නතුකර ගැනීමේ හැකියාව ලැබී තිබේ. එහි ප්‍රතිඵලයක් ලෙස ඉතිහාසයේ මෙතෙක් හමු නොවූ දවස් ගෙවා දමමින් සිටීමට මානව සමාජයට සිදුවී තිබේ. මේ ශාපලත් ඉරණමෙන් නිදහස් වූ නිරෝග සුව හා සැප පිරුණ අලුත් ලෝකයක් උද‌ාවේවා යන්න ලංකාදීපයේ නිදහස් දින ප්‍රාර්ථනය වේ.

 ලෝකය එකම යායකි. ගෝලීයකරණය හමුවේ මුළු ලොවම එකම පවුලකි. ලෝකයේ සෑම රටකටම ජනතාවකටම සමාන අයිතිවාසිකමකි. තරාතිරම් බේදයකින් තොරව මනුෂ්‍ය ගරුත්වය රැකගෙන ජීවත් වීමේ අයිතිය සියල්ලන්ටම පොදුය. කවර හෝ බලපුළුවන්කාරකමක් මුද‌ාහැර එම අයිතිය පාගා දමන්නේ නම් උදුරා ගන්නේ නම් ඒ නිදහස අහිමි කිරීමකි. දීන භාවයට ඇඳ දැමීමකි. එය සමාජ, ආර්ථික, දේශපාලන, සංස්කෘතික හා වෙනත් ඕනෑම ක්ෂේත්‍රයකට පොදුය. 1948 පෙබරවාරි 21 වැනිද‌ා මෙරට ජනයා මහත් උද්යෝගයෙන් උත්කර්ෂවත් හැඟීමෙන් හා නිදහස්කාමී මනසින් බලාපොරොත්තු වූයේ එබඳු පිරිපුන් නිදහසකි.

 නිදහසින් හැත්තෑතුන් වසරකට පසුව ද අපට එම නිදහස අපේක්ෂාවෙන් බලා සිටීමට සිදු වී ඇත. ඇතැම් ලෝක බලවතුන්ට අනුව නයන පිනවන මේ රන් දිවයින තවමත් ඔවුන්ගේ කොළනියකි. ශිෂ්ටත්වයේ සියලු සීමා මායිම් වැට කඩුලු පැන ඔවුහු අපගේ රටේ අභ්‍යන්තර කටයුතුවලට අත පොවති. අප රට සම්බන්ධයෙන් ගත යුතු තීන්දු තීරණ ඔවුන්ට අවැසි ලෙස ගත යුතු බවට බල කරති. එසේ කරන ලෙස තර්ජනාංගුලිය ඔසොවති.

 පෙබරවාරියෙන් පසුව එළැඹෙන මාර්තුව ඉහත කාරණයට කදිම නිදසුනකි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කමිටුව ජිනීවා හිදී රැස්වෙන්නේ මාර්තු මාසයේදීය. 2009 යුද ජයග්‍රහණයෙන් පසුව එළැඹෙන සෑම මාර්තුවකදීම ඔවුහු අපට මානව හිමිකම් කඩ කිරීමේ චෝදනාවෙන් දමා ගසති. යුද අපරාධ සිදු වූ බවත් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්විය යුතු බවත් කියති.

 මේ රට යනු තිස් වසරකටත් වඩා වැඩි කාලයක් යුද අග්නියේ දැවුණු තැවුණු රටකි. යුද්ධයක් යනු රාත්‍රී භෝජන සංග්‍රහයක් නොවේ. එමෙන්ම යුද්ධයක් යනු අපරාධයක්මය. එම  යුද්ධයෙන් රට නිදහස් කර ගැනීම යුද අපරාධයක් ලෙස විවරණය කරන්නේ කෙසේ ද යන්න පැහැදිලි නැත. භූගෝලීය වශයෙන් කුඩා වූ අප වැනි රටවලට ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් සම්බන්ධයෙන් උපදෙස් දෙන ප්‍රජාතන්ත්‍රවාදයේ පීතෘවරුන්ගේ කෙරුවාව මුළු ලොව ඉදිරිපිටම නිරුවත් වෙමින් තිබේ.

 අප රටේ ජනයාට අවශ්‍ය වන්නේ සියලු ජන කොටස් සමග අපමණ සහෝදරත්වයෙන් බැඳුනු රටකි. ආගමික සහජීවනයෙන් පිරුණු රටකි. ආර්ථික සමෘද්ධිය අත්පත් කරගත් රටකි. යුක්තිගරුක දේශයකි. සාධාරණ මිනිස් සමාජයකි. අඛණ්ඩ ලංකාවකි. අප්‍රමාණ අභියෝග ඉදිරිපිට වුව ද සමනොළ ගිරි හිස මෙන් සෘජුව නැගුණු මිනිස් පරම්පරාවකි. උතුරේත් දකුණේත් මව්වරුන්ගේ කඳුළු සිනාවකටත් පියවරුන්ගේ බලාපොරොත්තු ජීවමාන යථාර්ථයක්  බවට පත්කෙරුණු රටකි.

 ඒ වූ නිදහසේ ස්වර්ග රාජ්‍යයට තව බොහෝ දුරය. එහෙත් කවර අභියෝගයක් වුව ද අතික්‍රමණය කර ජයග්‍රාහී ඉලක්කය වෙත ළඟා වීමේ නොපසුබස්නා ජීව ගුණයෙන් අප ජනයා පොහොසත්ය. එය ඉතිහාසයක් පුරා ඔප්පු කර තිබේ. හිරු නොබසින බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ට නැවත සිය රටට පල්ලම් බැස යාමට සිදුවූයේ දෙදණින් වැටී ජීවත්වීම වෙනුවට දෙපයින් නැගී සිට මිය යාම ශ්‍රේෂ්ඨයැයි ඇදහූ අපගේ අතීත අභීත නෑදෑවරුන්ගේ උපමා නැති වීරත්වය නිසාය. වැදූ මවත් - දිනූ බිමක් ස්වර්ගයට වඩා ශ්‍රේෂ්ඨ යැයි ඇදහූ අපගේ වීරවරයෝ උපන් බිමේ උරුමය වෙනුවෙන් ජීවිත පූජා කිරීමේ මාවත තෝරාගත්හ. සකල අගති කුදලා දැමුණේ ඒ අභීත මිනිසුන්ගේ අයස්කාන්ත පරිත්‍යාගය ඉදිරිපිටය.

 හැමද‌ාමත් අලුත් වෙමින් එන්නේ පැරැණි අභියෝගයමය. අලුත් අත්වලින් ලියැවෙන්නේ පැරැණි පිටපත්මය. එහෙයින් සියලු ජනයා අවදියෙන් මෙන්ම බුද්ධිමත්ව කටයුතු කළ යුතුය. ජාතියේ අභිමානය කුළුගන්වන ජාතික ධජය ගුවනත සැරිසරණ මේ මොහොතේ සියලු ජනයා දිනූ බිම වෙනුවෙන් කැපවීමේ බලගතු අධිෂ්ඨානයෙන් පෙරට ආ යුතුය.


(***)

 



අදහස් (7)

නිදහස් දිනයේ අදිටන ජාති-ආගම් බේද නැති රටක්

බද්රානි Thursday, 04 February 2021 09:45 AM

අම්මේ ඉතින් අපේ අප්පුලා නිදහස, ජාතික අභිමානය ගැන ගහන කයිවාරු අහද්දී හූ කියලා, විසිල් ගහලා පණ යනවා. අර මැදපෙරදිග මහපාරේ අනාථ වෙලා ඉන්න සිරි ලාංකික රටවිරු කාන්තාවන් දැක්කම, පාකිස්තාන්, ඉන්දියන්, බංගලියෝත්, එහෙ ඔය කියන මහලොකු ජාතික අභිමානය සමරනවා!!!

:       1       5

Nihal Thursday, 04 February 2021 11:42 AM

ජාති-ආගම් බේද අපි ළඟ නම් නෑ. හැබැයි දේශපාලකයා තමයි ඡන්දයක් ළං වෙද්දී ඕවා හදන්නේ...

:       0       1

Raveendra Thursday, 04 February 2021 02:44 PM

අපගේ මාතෘභූමියට යහපතක්ම වේවා...!!! වසර 73 වැනි කෙටිකාලයක් අප නිදහස සැමරුවත් ඇත්තෙන්ම අප නිදහස් රටක්ද යන පැනය නැගෙන්නේ අපට පමණද? අප නිදහස් රටක් නම් අප තාමත් ඌන සංවර්ධිත රටක් වන්නේ කෙසේද? දේශපාලන වශයෙන් අප තරම් බේද බින්න වී සිටින මෝඩ තකතීරු ජාතියක් ලොව නොමැති බව වැටහෙන්නේ නූගත් අපට පමණමද? බලය වෙනුවෙන් ඕනෑම තුප්පහි වැඩක් කිරීම අපගේ රට පාලනය කළ සහ කරන අය සැමවිටම සැදී පැහැදී සිටිනවා නොවේද ? බලයේ සිටින අය කුමක් හෝ සාධනීය කටයුත්තක් කිරීමට උත්සාහ කරන සෑම අවස්ථාවකම එම වකවානුවේ විරුද්ධ පක්ෂයේ සිටින අය කෙසේ හෝ එය වළක්වනවා නොවේද? 33 කෝටියක් බේද භින්න වී සිටින අප රටේ සියලුම දේශපාලුවන්ට අප මෙසේ කීමට කැමැත්තෙමු. දැන්වත් නුඹලාගේ පක්ෂවල ගොන් න්‍යායන් අමතක කර රටේ දියුණුවට , පුරවැසියන්ගේ දියුණුව, ආරක්ෂාව වෙනුවෙන් තම තීන්දු තීරණ ගැනීමට උත්සාහ ගන්න දේශපාලුවනේ.. රටේ බලය නොව රටේ දියුණුව ගැන හිතන්න.

:       0       1

Perera Thursday, 04 February 2021 06:35 PM

ලංකාවේ තියෙන තරමක් තියෙන්නේ ජාති බේද සහ ආගම් බේද.. අවුරුදු 73ක් තිස්සේ අපි ‘‘ශ්‍රී ලාංකික‘‘ කියලා කියාගන්නේ නැතිව ‘‘සිංහල‘‘, ‘‘දෙමළ‘‘, ‘‘මුස්ලිම්‘‘ කිය කියා ජාති භේදය සරුවටම ඒක නැති කරන්න බැරි වුණානම් ඕක කවදාවත් නැති වෙන්නේ නැහැ.

:       0       1

Chithrananda Friday, 05 February 2021 12:17 AM

ජාතික ගීය සිංහලෙන් පමණයි කියලා ආරක්ෂක ලේකම් කියනකොට පුදුම සහයෝගිතාවයක් ජාතීන් අතර ඇතිවෙන්නේ...

:       0       1

Bamunuarachchi Friday, 05 February 2021 03:22 AM

නිකම්ම ආගම් බේද නැතිකරන්න බැහැ. අාගම් බේදවලට මුල, වස්තු බීජය සොයා එය විනාශ කරන්න. අපි මේ රටේ ආගමික යුද්ධ නැතිව යහතින් ඉන්නේ රටේ තිබෙන බෞද්ධ සංස්කෘතිය නිසයි. එය රැකගැනීම සිහල බෞද්ධ අපේ පරම යුතුකමයි.

:       1       1

BamunuarachchiFriday, 05 February 2021 12:29 PM

හැම අදහසටම ඩිස්ලයික් දාන කෙනෙක් ඉන්නවා...

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

කෝටි 5ක කුෂ් කටුනායක ගුවන්තොටුපොළින් අල්ලයි
2025 මැයි මස 12 26 0

රුපියල් මිලියන 460 ක් හෙවත් කෝටි 5කට ආසන්න වටිනාකමින් යුත් තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලංකාවට පැමිණි බ්‍රිතාන්‍යය ජාතික තරුණියක් සන්තකයේ තිබූ කු


දුම්රියේ ගැටි තරුණයකු මරුට
2025 මැයි මස 12 194 0

මැදගම පාසල පිටුපස පිහිටි දුම්රිය හරස් මාර්ගය ආසන්නයේදි දුම්රියේ ගැටිමෙන් 22 හැවිරිදි පුද්ගලයෙකු අද (12)දින මිය ගොස් ඇතැයි පරසන්ගස්වැව පොලිසිය කියයි.


ඇමෙරිකාව චීනය තීරුබදු අඩු කරන්න එකඟ වෙයි
2025 මැයි මස 12 557 0

ඇමෙරිකාව මෙන්ම චීනය ද එකිනෙකාට පැනවූ තීරුබදු සියයට 115 කින් අඩු කිරීමට එකඟ වූ බව නිවේදනය කළේ ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට්ය.


දෙමටගොඩ චමින්දගේ කුඩු බෙදූ 3ක් මාට්ටු
2025 මැයි මස 12 477 0

මරණීය දණ්ඩනය නියමව සිටින පාතාලයකු වන දෙමටගොඩ චමින්ද නමැත්තාට අයත් රුපියල් කෝටි හතරකට ආසන්න මත්ද්‍රව්‍ය තොගයක් සමග එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකු සමඟ ත


කොළඹ ඇමැති බංගලා ලොකු කුලියක් ගෙවන රජයේ ආයතනවලට
2025 මැයි මස 12 515 0

කොළඹ ඇමැති බංගලා බොහොමයක් පෞද්ගලික ආයතනවලට ලොකු කුලී මුදල් ගෙවමින් පවත්වාගෙන යන අමාත්‍යාංශ ඇතුළු ආයතන වෙත ලබාදීම කෙරෙහි රජයේ ඉහළ අවධානය යොමුවී ඇත.


‘සෝලා’ විදුලි ගාස්තුව තවම අඩුකර නෑ
2025 මැයි මස 12 536 0

‘සෝලා’ විදුලි ඒකකයක් වෙනුවෙන් ගෙවන මුදල අඩු කරන්නේ යැයි පැවසුවට එම යෝජනාව මේ දක්වා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර නොමැති බවත් ඉහළ ගාස්තු පහත දැමීමක් කළ හ


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1186 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1488 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 385 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site