(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

ඩුබායි රටට පලාගොස් සැඟවී සිටිමින් එරට සිට සිය ගෝලබාලයන් යොදවා කප්පම් ගැනීම් සහ මනුෂ්‍ය ඝාතන සිදුකරන බව කියන හීනටියන මහේෂ් නැමැත්තාගේ කටුනායක පොලිස් වසමේ පිහිටි හීනටියන ගෝනමඩිත්ත ජනපදයෙ පිහිටි එම පාතාල නායකයාගේ වසා දමා ඇති නිවසට අවිගත් කණ්ඩායමත්  අද අලුයම කඩාවැදී ගිනි තබා පලාගොස් ඇතැයි කටුනායක පොලිසිය පවසයි.

මෙම ගිනි තැබීමෙන් එම පාතාල නායකයාගේ නිවසට දැඩි ලෙස අලාභානි සිදු වී ඇතැයි ද පොලිස් ආරංචිමාර්ග වලින් දැන ගැනීමට ඇත.

මුහුණු ආවරණය කරගෙන හෙල්මට් සහ කළු පැහැති ජැකට් හැද සිටි අට දෙනෙකුගෙන් පමණ සමන්විත අවිගත් කණ්ඩායමක් මුලින්ම හීනටියන මහේෂ් නැමැත්තාගේ නැගණියගේ නිවසට අද අලුයම් කාලයේ කඩාවැදී ඇය හා සැමියාබිම දණ ගස්වා ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.

හීනටියන මහේෂ්නැමැත්තා ඩුබායි සිට මෙහෙය වන කප්පම් ගැනීම් හා මනුෂ්‍ය ඝාතන නතර කර දමන ලෙසට ඔහුට දැනුම් දෙන ලෙස තර්ජනය කරඑම පාතාල යගේ නැගණියට සහ සැමියාට මෙම සන්නද්ධ කණ්ඩායම මරණීය තර්ජනය කර ඇතැයි ද එම උසස් පොලිස් නිලධාරියා කීය.

මෙම අඹුසැමි යුවළ පදිංචිව සිටින නිවසට යාබදව පිහිටි හීනටියන මහේෂ් නැමැත්තාට අයත් වසා දමා ඇති නිවසට එම සන්නද්ධ කණ්ඩායම ගිනි තබා ඇත්තේ ඉන් අනතුරුව යැයි පොලිසිය පැවසීය.