
(වසන්ත චන්ද්‍රපාල)
මඩකලපුව ප්‍රදීපාගාරයේ සිට නාවික සැතපුම් 42 ක් පමණ දුරින්, ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් වූ ගැඹුරු මුහුදේදී, ආපදාවට ලක් වූ අස්වර් නමැති මෙරට බහුදින ධීවර යාත්‍රාවේ සිටි ධීවරයන් පස් දෙනාගෙන් තිදෙනකු බේරා ගත් බවත් එක් අයකු මියගොස් තවත් අයකු අතුරුදහන්ව ඇතැයි නාවික හමුදාව පවසයි.
ධීවරයින් පස් දෙනකු රැගත් අස්වර් නමැති මෙම බහුදින ධීවර යාත්‍රාව වාලච්චේන ධීවර වරායෙන් 2024 මැයි මස 12 වන දින ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් ඇති අතර, ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් වූ ගැඹුරු මුහුදේ ධීවර කටයුතු සිදුකරමින් සිටියදී ආපදාවට ලක් වී ඇත.
වාලච්චේන ධීවර වරායේ පිහිටි සංඥා මධ්‍යස්ථානය වෙතින් ලද තොරතුරකට අනුව, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරාගේ උපදෙස් මත හතරවන වේග ප්‍රහාරක බලඝණයට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවක් සහ ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් යාත්‍රාවක් කඩිනමින් ආපදාවට ලක් වූ ධීවර යාත්‍රාව පිහිටි මුහුදු ප්‍රදේශය වෙත යොමු කෙරිණි.
අනතුරුව, අසාධ්‍ය තත්වයේ සිටි එක් ධීවරයකු ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් CG 407 යාත්‍රාව මඟින් ත්‍රිකුණාමලය වරාය වෙත රැගෙන ඒමෙන් අනතුරුව, වැඩිදුර ප්‍රතිකාර සඳහා ත්‍රිකුණාමලය මහ රෝහල වෙත යොමු කිරීමට කටයුතු කළ අතර, නිරුපද්‍රිව සිටි අනෙක් ධීවරයන් දෙදෙනා වෙනත් ධීවර යාත්‍රාවක් මඟින් වාලච්චේන ධීවර වරාය වෙත රැගෙන ඒමට කටයුතු කෙරිණි.
තවද, ආපදාවට පත් ධීවර යාත්‍රාවේ සිටි ඉතිරි ධීවරයන් දෙදෙනා ගෙන් එක් ධීවරයකුගේ මෘත ශරීරය මේ වන විට හමුවී ඇති අතර, අනෙක් ධීවරයා සොයා මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd