(අංජුල මහික වීරරත්න)

නකල්ස් ගල් ගුහාවකදී දරුවකු ප්‍රසූත කළ දැරිය සහ එම බිළිඳියගේ සුබසාධනය සහ අධ්‍යාපන අයිතිය තහවුරු කිරීම උදෙසා කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරන "අර්ථ" වැඩසටහන යටතේ මාසික ජීවන වියදම් දීමනාවක් ලබාදීමට අමාත්‍යාංශය කටයුතු සැලසුම් කර ඇත.

අදාල සිද්ධියට මුහුණ දුන් අවුරුදු 15 ක දැරිය දැනට අ.පො.ස (සා/පෙළ) විභාගය සඳහා අයැදුම් කර ඇති අතර ඒ සඳහා ඇයට සූදානම් වීමට අවශ්‍ය මනෝ සමාජයීය උපදේශන සහය ජාතික ළමා ආරක්ෂක අධිකාරිය හරහා ලබා දීමට කටයුතු කරන ලෙස කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය අමාත්‍යාංශයටවැඩිදුරටත් උපදෙස් ලබා දී තිබේ.

ඇගේ අනිවාර්ය අධ්‍යාපන වයස අවසන් වනතුරු හෝ ඇගේ රුචිකත්වය පරිදි උසස් අධ්‍යාපනය හෝ වෘත්තීය අධ්‍යාපනය සඳහා යොමුවන තුරු මෙම දීමනාව ඇයට සැපයෙනු ඇත. මීට අමතරව කුඩා දියණියගේද පෝෂණ සහ අධ්‍යාපන අවශ්‍යතා සඳහා ඇය වෙනුවෙන්ද අර්ථ දීමනාව සැපයීමට සැලසුම් කර තිබේ.

ආයතනික රැකවරණයේ හෝ ආරක්ෂිත භාරක්කරීත්වයන් යටතට පත්කරන ලද ළමුන් සහ වීදි දරුවන් වෙනුවෙන් ක්‍රියාත්මක "අර්ථ" වැඩසටහන 2025 සිට කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයත්, පරිවාස සහ ළමා රක්ෂක සේවා දෙපාර්තමේන්තුවත් එක්ව ක්‍රියාත්මක කරනු ලබන අතර මසකට ළමෝ 9000 කට ආසන්න පිරිසක් මෙයින් ප්‍රතිලාභ ලබති. 2027 වසරේද මෙම වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම උදෙසා 2027 අයවැය මගින් රුපියල් මිලියන 750 ක මුදලක් වෙන් කර තිබේ.