(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න )

ඉන්ධන සහ භූමිතෙල් මිල අධික ලෙස ඉහළ යෑම හේතුවෙන් සමස්ත ධීවර ජනතාව බරපතළ ප්‍රශ්නයකට මුහුණදී සිටින හෙයින් ඔවුනට කඩිනම්  සහනයක් අවශ්‍ය බව  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී අද (04) පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්නයක් යොමු කරමිනි.

වර්තමාන ආර්ථික අර්බුදයත් සමග ඉන්ධන මෙන්ම  ධීවර කර්මාන්තයට අවශ්‍ය අනෙකුත් යෙදවුම්හි මිල ගණන් සීඝ්‍ර ලෙස ඉහළ යෑම  නිසා ධීවර කර්මාන්තය උග්‍ර අර්බුදයකට මුහුණදී  සිටින බවද  සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාවේ විශාලතම සහ ලාභදායීම ප්‍රෝටීන ප්‍රභවය වන මත්ස්‍ය ආහාර සැපයුම මෙලෙස  තර්ජනයට ලක්ව ඇත්තේ ළමා මන්දපෝෂණයද උග්‍ර වෙමින් පවතින අවස්ථාවක බව  පැවසූ  සජිත් ප්‍රේමදාස මහතා 4,500කට ආසන්න බහුදින ධීවර යාත්‍රා සහ 25,000කට අධික සුළුපන්න ධීවර යාත්‍රා සඳහා අවශ්‍ය ඩීසල් සහ භූමිතෙල් නිසි ක්‍රමවේදයකට සැපයීමට රජය අසමත්වීමෙන්  අර්බුදය තවදුරටත් උග්‍ර වී ඇතැයිද ප්‍රකාශ කළේය.

විශේෂයෙන් භූමිතෙල් මිල රුපියල් 87 සිට 340 දක්වා ඉහළ දැමීම නිසා සුළු පන්න ධීවරයන්ට සිය ජීවනෝපාය කිරීමට ඉතා අපහසු වී ඇති බවත්  මත්ස්‍ය නිෂ්පාදන හිඟවීම නිසා මත්ස මිල ඉහළ යෑමෙන්  පාරිභෝගිකයන්ට එය දරාගත නොහැකි තත්ත්වයක් වී ඇතැයිද  ඔහු වැඩිදුරටත් පැවසීය.