(රෝෂන් තුෂාර)

ලංකා ධීවර සංස්ථාවේ දීප ව්‍යාප්ත අලෙවි සල් 55ක් ඉදිකිරීමේ කටයුතු නියමිත ප්‍රසම්පාදනය ක්‍රියාවලියකින් තොරව සමාගම් දෙකකට ලබාදීමෙන් රජයට පාඩු කළේ යැයි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ එම සංස්ථාවේ හිටපු සභාපති මහිල් ප්‍රියදර්ශී සේනාරත්න ඇපමත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා අද නියෝග කළේය.

සැකකරුට රුපියල් ලක්ෂ 25 බැගින් වූ ශරීර ඇප දෙකක් නියම කළ මහේස්ත්‍රාත්වරයා සැකකරුගේ විදෙස් ගමන් තහනම් කරන බවටද , සාක්ෂි කරුවන්ට බලපෑම් නොකරන ලෙසටද නියෝග කළේය.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් අල්ලස් කොමිසම කියා සිටියේ 2010-2012 කාල සීමාව තුළ දිවයින පුරා මසුන් අලෙවි සැල් ඉදිකිරීමේ සහ අලුත්වැඩියා කිරීමේ දී නියමිත ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය නොකර සෘජුවම තෝරාගත් ආයතන 02ක් වෙත ඉදිකිරීම් හා අලුත්වැඩියාවට අනුමැතිය ලබාදීමෙන් හා එකී ආයතන 02 වෙත ගෙවීම් කිරීම සඳහා නිලධාරීන් වෙත බලපෑම් කර ගෙවීමට සැලැස්වීම තුළින් දූෂණය නැමැති වරද කිරීමේ චෝදනාව මත සැකකරු අධිකරණයට ඉදිරිපත් කරන බවය.

සිද්ධියට අදාළව ප්‍රධාන කොන්ත්‍රාත් දෙදෙනාගෙන් සහ තවත් සාක්ෂිකරුවන් දස දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට තිබෙන බවද පැවසීය.

සැකකරු වෙනුවෙන් පෙනී සිටී නීතිඥ පාලිත සුභසිංහ මහතා කරුණු දක්වමින් අදාළ විමර්ශනයට මුල පටන් සහය දක්වා ඇති සැකකරු ඕනෑම කොන්දේසියක් යටතේ ඇප මත මුදා හරින ලෙස ඉල්ලා සිටියේය.

දෙපාර්ශවයේ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා ඇප ලබා නොදීමට තරම් ප්‍රබල හේතුවක් පැමිණිල්ල මගින් ඉදිරිපත් කර නොමැති බැවින් ඇප ලබාදෙන බවට තීරණය කළේය. විමර්ශන ප්‍රගතිය නොවැම්බර් හය දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට අල්ලස් කොමිසමට නියෝග කළේය.