(අංජුල මහික වීරරත්න)

ගෙවුනු වසර 15 දී අක්ෂි බැංකුවට පරිත්‍යාග ලෙස ලැබුණු අක්ෂි කුණිත 17,000 කට අධික ප්‍රමාණයෙන් 12,000 ක්  රෝගීන් සඳහා බද්ධ කර ඇතැයි ජාතික අක්ෂි බැංකුව පවසයි.

වෙනත් රටවල අවශ්‍යතාවය සහ ඉල්ලීම මත 4000 – 4500 ක ප්‍රමාණයක්  ප්‍රදානය කර ඇත.

අක්ෂි බැංකුව ජාත්‍යන්තර වශයෙන් පිළිගත් ආයතනයක් වන අතර සිංගප්පූරුව හා දකුණු අප්‍රිකා, ඇතුලු ආසියානු  රටවලින් මෙරට අක්ෂි බැංකුවේ ඇති කුණීත සදහා විශේෂ  ඉල්ලුමක් ද පවතී.

ශ්‍රී ලංකා ජාතික අක්ෂි බැංකුවට වසර 15 ක් සපිරීම නිමිත්තෙන් සැමරුම් උත්සවය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය  අනිල් ජාසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්  බණ්ඩාරණායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී පැවැත්විණි.  

2011 වර්ෂයේ පෙබවාරි මස 24වන දින ස්ථාපිත කරන ලද ශ්‍රී ලංකා ජාතික අක්ෂි බැංකුව 2023 අංක 2 දරණ පනත මගින් මේවන විට ශ්‍රී ලංකා ජාතික අක්ෂි බැංකු භාරය නමින් පරිවර්ථනය වී ඇත. එහි වත්මන් සභාපතීත්වය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය  අනිල් ජාසිංහ මහතා විසින් දරණු ලබයි.

පුද්ගලයකු මිය ගිය විට එම පුද්ගලයාගේ අක්ෂි කුණිතය කොටස ශ්‍රී ලංකා ජාතික අක්ෂි බැංකු භාරය මගින් ලබාගෙන විද්‍යනුකූලව සකස්කර කුණීත අන්ධභාවයෙන් පෙළෙන රෝගියකුට බද්ධ කර පෙනුම ලබාදීමට කටයුතු කරනු ලබයි.