(අංජුල මහික වීරරත්න සහ නිමල කොඩිතුවක්කු)

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් හානියට පත් මාර්ග යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණය කිරීමට කැබිනට් අනුමැතිය  ලැබී ඇත.

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් හානියට පත්ව ඇති මාර්ග කොටස් කිහිපයක් ප්‍රතිසංස්කරණය කිරීම සහ වැඩි දියුණු කිරීම සඳහා කොන්ත්‍රාත්කරුවන් තෝරා ගැනීම පිණිස ජාතික තරගකාරී ප්‍රසම්පාදන ක්‍රම වේදය අනුගමනය කරමින් ලංසු කැඳවා තිබේ. ඒ සඳහා ලැබී ඇති ලංසු ඇගයීමෙන් අනතුරුව ඉහළ මට්ටමේ ප්‍රසම්පාදන කමිටු විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති නිර්දේශ මත පදනම්ව අවම ලංසුකරුවන්ට එකී කොන්ත්‍රාත්තු පිරිනැමීම පිණිස ප්‍රවාහන, මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

ගම්පොළ - නාවලපිටිය මාර්ගයේ (AB013) කිලෝමීටර 8+500 සිට 16+300 දක්වා, උලපනේ - පුස්සැල්ලාව මාර්ගයේ (B431) කිලෝමීටර 0+000 සිට කිලෝමීටර 6+440 දක්වා සහ අටබාගේ - උලපනේ මාර්ගයේ (B490) කිලෝමීටර 0+000 සිට කිලෝමීටර 7+500 දක්වා වන මාර්ග කොටස් ප්‍රතිසංස්කරණය කිරීම සහ වැඩි දියුණු කිරීම.

වත්තේගම - කන්දේ නුවර - වාරියපොළ මාර්ගයේ (B461) කිලෝමීටර 11+000 සිට කිලෝමීටර 27+700 දක්වා වන කිලෝමීටර 16.77ක දිගකින් යුත් මාර්ග කොටස ප්‍රතිසංස්කරණය කිරීම හා වැඩි දියුණු කිරීම සහ එම මාර්ගයේ කිලෝමීටර 27+700 සිට කිලෝමීටර 30+800 දක්වා වන මාර්ග කොටසේ ජලාපවහන කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම් හා රැඳවුම් බැමි (Retaining Walls) ආශ්‍රිත ඉදිකිරීම්.

කටුගස්තොට - මඩවල - බඹරැල්ල මාර්ගයේ (B205) 19 වන කිලෝමීටරයේ සිට 34 වන කිලෝමීටරය දක්වා වන කිලෝමීටර 15ක මාර්ග කොටසෙහි සහ වත්තේගම - කන්දේ නුවර - වාරියපොළ මාර්ගයේ (B461) 1 වන කිලෝමීටරයේ සිට 5 වන කිලෝමීටරය දක්වා වන කිලෝමීටර 4ක මාර්ග කොටසෙහි හානි වූ ස්ථාන වල හා බෑවුම් කඩා වැටීම් සිදු වූ ස්ථාන වල අලුත්වැඩියා කටයුතු සිදු කිරීම සඳහා මෙම ප්‍රසම්පාදන පිරිනැමෙයි.